පද්මේලා එක්ක ආශ්‍රය කරපු හිටපු මැති ඇමති රොත්තක් ගැනත් විමර්ශන
කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සළිඳු ඇතුළු ප්‍රධාන පෙළේ පාතාලකරුවන් පස්දෙනකු සමග මුල්කාලීන සබඳතා පැවැත්වූ බව කියන හිටපු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් අටදෙනකු සහ කලාකරුවන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සබඳතා සම්බන්ධයෙන් දුරකථන වාර්තා විශ්ලේෂණය කරමින් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව පොලිසිය පවසයි. එසේම, මෙම පාතාලකරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති රජයේ නිලධාරීන් පිරිසක් පිළිබඳවද විමර්ශන අංශවල ඉහළ අවධානය යොමු වී ඇත.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ, මෙම පාතාලකරුවන් සහ දේශපාලනඥයන් කිහිපදෙනකු අතර මුල්කාලීන සබඳතා කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.
කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සළිඳු ඇතුළු පාතාලකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඔවුන් සමග ගනුදෙනු පැවැත්වූ ප්‍රසිද්ධ පාතාල නායකයන් පස්දෙනකු සහ ඔවුන්ගේ ගෝලබාලයන් පනහකට ආසන්න පිරිසක් සිය ගම්බිම් අතහැර පලා ගොස් ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.
මෙසේ පලා ගොස් ඇති බහුතරය දකුණු සහ බස්නාහිර පළාත්වල පදිංචිකරුවන් බවද වාර්තා වේ.
එසේම, මෙම පාතාලකරුවන් පස්දෙනා සමග කිට්ටු සබඳතා පැවැත්වූ බව කියන විදේශයන්හි සිටි තවත් පාතාල නායකයන් තිදෙනකු වෙනත් රටවලට පලා ගොස් ඇති බවත්, මෙම පලා ගිය පාතාලකරුවන් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සළිඳු ඇතුළු පාතාලකරුවන් පස්දෙනා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන ආ අතර, විමර්ශන නිලධාරීන් විසින් ඔවුන් තැන් කිහිපයක රඳවා ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටිති.