ජනතාවට සමීප සෞඛ්‍ය සේවාවක් සඳහා ජනපතිගෙන් නව සැලසුමක්
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාව ඊයේ (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය.
මෙරට සෞඛ්‍ය සේවාව හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගෙන ගොස් ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම රජයේ අරමුණ බව ජනාධිපතිවරයා පැවසීය. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා “ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන” ගොඩනැගීමේ වැඩපිළිවෙළේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.
රෝහල් පද්ධතියට නව තාක්ෂණය එක් කිරීම, ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්‍රමවේද හඳුන්වාදීම සහ ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සේවාවක් ගොඩනැගීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ. පසුගිය රජයන් යටතේ ප්‍රාග්ධන වියදම් නතර වීම හේතුවෙන් අතරමග නතර වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් යළි ආරම්භ කර ඇති බවද මෙහිදී අනාවරණය විය.
මොණරාගල දිස්ත්‍රික් රෝහලේ පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර සහ හලාවත රෝහල්වල හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකක ඇතුළු ව්‍යාපෘති ඒ අතර වේ. මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිකිරීම් ව්‍යාපෘති 48ක කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවද සාකච්ඡාවේදී සඳහන් විය.
ඖෂධ හිඟය වැළැක්වීම, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා තාක්ෂණික විසඳුම් හඳුන්වාදීම සහ ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි. එමෙන්ම “පේෂන්ට් හෙල්ත් ඇප්”, ටෙලි මෙඩිසින් සේවා සහ ජාතික විද්‍යුත් සෞඛ්‍ය වාර්තා පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතියද සමාලෝචනයට ලක් කර තිබේ.