ගොවීන්ට වන්දි ලබාදීම කඩිනමින් - ජනපතිගෙන් නියෝගයෙක්
අයහපත් කාලගුණය හේතුවෙන් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්රයට ඇති වූ හානි සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, දිවයිනට බලපෑ අයහපත් කාලගුණය නිසා වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට ඇති වූ හානි සම්බන්ධයෙන් පවතින සංඛ්‍යාලේඛන සහ අදාළ ගොවීන්ට වන්දි ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්රයට ඇති වූ බලපෑම්ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, වාරිමාර්ග පද්ධතියට ඇති වූ හානි ගණනය කර ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා අදාළ සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. ආර්. ටී. වික්‍රමආරච්චි මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගෙපොල මහතා, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කේ. කේ. සරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.