ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ආපදාවෙන් අහිමි වූ ජීවිත නැවත ලබාදිය නොහැකි වුවද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි ජීවත්ව සිටින පිරිසට වඩාත් සුදුසු ගුණාංග සහිත රටක් හිමිකර දීම ආණ්ඩුවේ අපේක්ෂාව බව සඳහන් කරයි.
ආණ්ඩුව එම අරමුණ සඳහා උපරිමයෙන් කැපවී ඇති අතර, එවැනි ඉරණමක් නැවත ඇති නොවීමට වගබලා ගැනීමේ කටයුතු සිදු කරන බවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම, ආපදා හේතුවෙන් සිය ඥාතීන් සහ සමීපතමයින් අහිමිවී වේදනාවට පත්ව සිටින පිරිසට රටක් ලෙස තම සංවේගය ප්‍රකාශ කිරීමද ජනාධිපතිවරයා සිදු කෙරූ අතර එහිදී අදහස් දැක්වූ එතුමා,
"ඕනෑම ව්‍යසනයකදී මිනිස් ජීවිත උඳුරාගන්න පුළුවන්. නමුත් අපිට එකක් පසක් කර තිබෙනවා. ලංකාවේ ජනතාව තුළ තිබෙන මනුස්සත්වය කිසිදු ව්‍යසනයකදී උදුරා ගත නොහැකි ප්‍රබල ගුණාංගයක් බව මෙම ව්‍යවසනයේදීත් ඔප්පු කර තිබෙනවා. මේ මොහොතේදීත් මාතර අය බදුල්ලට ගිහින් ඉන්නවා. ගාල්ලේ අය මහනුවරට ගිහින්. කළුතර අය නුවරඑළියේ ගිහින්. හම්බන්තොට අය පුත්තලමට ගිහින් ඉන්නවා.
කවදාවත් තමන් ඇවිද්දේ නැති පාරක් ඔවුන් සුද්ද කරමින් ඉන්නවා. තමන්ගේ ඥාතියෙක් නොවන තමන්ගේ මිතුරෙකු නොවන පුරවැසියෙකුගේ නිවස පිරිසිදු කරමින් ඉන්නවා. අවතැන් කඳවුරුවල ඉන්න පුරවැසියන් එක්ක තමන් හා සමානව උරින්උර ගැටී දුක බෙදාගනිමින් ඉන්නවා. ඒක තමා මම හිතන්නේ අපේ රට තුළ කුමන ව්‍යසනයකදී වුවත් උදුරාගන්න බැරි මනුස්සත්වය මේ ව්‍යවසනයේදී අපිට ඔප්පු කරමින් තියෙනවා.
මේ ව්‍යසනය ඇති වූ විට අපේ ජනතාව මුදාගැනීමට විශාල වෙහෙසක ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් දැරුවා. කලා ඔයේ බස් රථයේ 70කට ආසන්න ප්‍රමාණයක් කොයි මොහොතේ තමාගේ ජීවිතේ නැති වෙයිද කියන කම්පනයෙන් හිටියා. සමහර මන්ත්‍රීවරු පැයෙන් පැයට ෆේස්බුක් සටහන් ලිව්වා. ඒ වෙලාවේදීත් අපේ නාවික හමුදාව ඒ අය මුදාගැනීමේ වීරෝධාර ක්‍රියාවලියක නිරත වෙලා හිටියා. අසීරු වෙහෙසකර තත්ත්වයක් යටතේ එක් නාවික හමුදා කණ්ඩායමක් මෙම සැඩ පහර පරාජය කරන්න මැදිහත් වෙලා හිටියා.
ප්‍රතිඵලයක් ලෙස ඒ පිරිස වහලයක් උඩට ගත්තා. කෙටි වෙලාවකින් බසය ගසාගෙන ගියා. බෝට්ටුවේ ක්‍රියාවිරහිත වුණා. ඒ නිලධාරීන්ටත් තම ජීවිතය ආරක්ෂා කරගන්න වහල මත ඉන්න වුණා. පැය 18කට අධික කාලයක් 70කට ආසන්න පිරිසක් මහා සැඩ පහරක් මත ඒ වහලය මත ඔවුන්ට ජීවත් වෙන්න ධෛර්ය දුන්නේ ඒ නාවික හමුදා නිලධාරීන් තුන්දෙනා. පාන්දර 3.30 ත්‍රිකුණාමලය ඉඳන් නොච්චියාගමට එද්දි නාවික හමුදා නිලධාරීන් එතකොටත් සමහරු ෆේස්බුක් සටහන් ලියනවා දැන් පැය 17යි කියලා. දුෂ්කර ව්‍යායාමයක්.
මම ස්තූතිවන්ත වෙනවා ඒ ගමේ තරුණයින් දෙදෙනෙකු වෙනත් පාරක් පෙන්වා දුන්නා 70 දෙනාම නිරුපද්‍රිතව මුදාගත්තා. රෝහල්ගත කරාම එක් අයෙක් මියගියා. "සාමාන්‍ය නීතිය අපිට මෙවැනි ව්‍යසනයකට මුහුණදීම සඳහා මෙවැනි මොහොතකදී ප්‍රමාණවත් නෑ. සාමාන්‍ය නීතියට උඩින් තියෙන ශක්තිමත් නීතියක් අපට අවශ්‍යයි මෙවැනි මොහොතකදී. කිසිසේත්ම ව්‍යවස්ථාව හෝ පනත උල්ලංඝනය කරලා නෑ. අපි බැලුවේ මේ ව්‍යසනයට මුහුණදෙන්න වඩාත් යෝග්‍ය නීතිය කුමක්ද කියලා. අපි කල්පනා කළා වඩාත්ම යෝග්‍ය පනත මහජන ආරක්ෂක පනත කියලා.
එයට විපක්ෂ නායකයින් සහාය ලැබුණා. ඒ ගැන බෙහෙවින්ම ස්තූතියි. එහෙත් මෙම මහජන ආරක්ෂක පනත කිසිසේත්ම ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමට උපයෝගී කරගන්නේ නෑ. මාව හෝ අපේ අමාත්‍යවරු විවේචනය කිරීම අපි ගණන් ගන්නේවත් නෑ. අවලාද අදාළම නෑ. හැබැයි මෙම නීතිය උපයෝගී කරගන්නවා ජනතාව බියවද්දවන්න, ජනතාව නොමග යවන්න හෝ මෙම සාමකාමී තත්ත්වය අවුල් කිරීම සඳහා ව්‍යසනකාරි ප්‍රජාව ඇතුළේ යම් ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට කවුරු හෝ උත්සාහ කරනවා නම් එය අපි මේ ව්‍යසනයෙන් මිදීමට කරන සැලැස්මට බාධාවක්. ඒ පැත්තෙන් විතරයි අපි මේ නීතිය උපයෝගී කරගන්නේ. එහෙම නැතුව ජනතාවගේ ලියන, කියන අදහස් අපි සැලකිල්ලට භාජනය කරන්නේ නෑ."