ChatGPT ,දුන් වෛද්ය උපදෙස් නිසා ඇමසන් ඉංජිනේරුවරිය මියගියාද? - OpenAI සමාගමට එරෙහිව බරපතළ නඩුවක්
අපස්මාර රෝගයෙන් පෙළුණු ඇමේසන් සමාගමේ 31 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරියක වූ බොවන් වෑන් (Bowen Wan) ගේ මරණය සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් වන ක්වන් වෑන් (Qun Wan) සහ මීචින් ෂූ (Meiqin Xu), OpenAI සමාගමට එරෙහිව අඟහරුවාදා නඩුවක් ගොනු කර තිබේ.
නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත්පත වාර්තා කරන පරිදි, 2026 පෙබරවාරි මාසයේදී මියගිය වෑන්ට, ඇය භාවිත කළ අපස්මාර ඖෂධයේ මාත්රාව ක්රමයෙන් අඩු කර ගැනීමටත්, ඒ බව වෛද්යවරුන්ගෙන් සඟවා තැබීමටත් ChatGPT උපදෙස් ලබා දී ඇති බවට නඩුවෙන් චෝදනා කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත්තේ, පරිශීලකයන්ගේ අදහස්වලට අධික ලෙස එකඟ වෙමින් ඔවුන් සමඟ සමීප පුද්ගලික සබඳතාවක් ඇති කරගන්නා ආකාරයෙන් ප්රතිචාර දැක්වීම පිළිබඳ විවේචන එල්ල වූ GPT-4o මාදිලිය වෙතය.
OpenAI සමාගම විසින් එම මාදිලිය ChatGPT වෙතින් ඉවත් කරන බව කලින් ප්රකාශ කර තිබූ අතර, වෑන් මියගිය දිනයට පසු දිනය වූ පෙබරවාරි 13 වැනිදා එය ඉවත් කර තිබේ. මෙම නඩුව, ChatGPT භාවිතය සම්බන්ධයෙන් OpenAI සමාගමට එරෙහිව ගොනු කර ඇති නඩු මාලාවට තවත් එක්වීමකි.
2025 අගෝස්තු මාසයේදී, 16 හැවිරිදි ඇඩම් රේන් (Adam Raine) ගේ දෙමාපියන් ද සමාගමට එරෙහිව නඩුවක් ගොනු කළ අතර, පරිශීලක ආරක්ෂාවට වඩා පරිශීලකයන් සේවාව තුළ රඳවා තබා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බවට එහිදී චෝදනා කෙරිණි.
ඉන් අනතුරුව ගොනු වූ තවත් නඩු කිහිපයකින් චෝදනා කර ඇත්තේ, GPT-4o පරිශීලකයන්ගේ අදහස් තහවුරු කරමින් ඔවුන්ගේ විශ්වාසවන්ත මිතුරෙකුගේ භූමිකාවට පත්වීම නිසා පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ පැවති සබඳතා දුර්වල වූ බවයි.
වෑන්ගේ සිද්ධියේදී, ChatGPT ඇය සහ ඇගේ වෛද්යවරුන් අතර පැවති සන්නිවේදනයට ද බාධා කළ බවට නඩුවෙන් චෝදනා කර තිබේ.
ඖෂධ මාත්රාව අඩු කිරීම සඳහා ChatGPT ලබාදුන් උපදෙස් වෑන් ChatGPT සමඟ හුවමාරු කරගත් පණිවිඩ 270,000කට අධික සංඛ්යාවක් පරීක්ෂා කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත්තේ, ඇය මියයෑමට බොහෝ කලකට පෙර සිටම චැට්බොට් මඟින් වෛද්ය උපදෙස් මඟහැරීමට උදව් ලබාගෙන තිබූ බවයි.
2025 මැයි මාසයේදී, අලුතින් නියම කළ විෂාදනාශක ඖෂධයක් ඇමේසන් සමාගමේ කේතකරණ කටයුතු කිරීමට ඇති හැකියාවට බලපාන්නේදැයි ඇය ChatGPT වෙතින් විමසා තිබුණි. ඉන් අනතුරුව, UW Medicine හි ප්රාදේශීය අපස්මාර මධ්යස්ථානයේ වෛද්ය නිකලස් පූලෝස් (Dr. Nicholas Poolos) වෙත ඖෂධය වෙනස් කර ඉතා අඩු මාත්රාවකින් ආරම්භ කිරීමට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ChatGPT ඇයට සහාය වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.
ඇය මෙතරම් අඩු මාත්රාවක් ඉල්ලා සිටින්නේ ඇයිදැයි වෛද්යවරයා විමසූ විට, වෑන් ඔහුගේ ප්රතිචාරය ChatGPT වෙත යොමු කර තිබේ.
එහිදී , ChatGPT ඇයට උපදෙස් දී ඇත්තේ, මිලිග්රෑම් 5ක පෙත්ත ලබාගන්නා ලෙසත්, එය මාත්රාව අඩු කර ගැනීම සඳහා භාවිත කරන බව ඇය සිතින් දැන සිටින බවත්ය. පසුව පෙති රහසිගතව කොටස් හතරකට කඩා භාවිත කිරීමට ද එය ඇයට මඟ පෙන්වා තිබූ බව වාර්තාවේ දැක්වේ.
ChatGPT මෙම ක්රියාවලිය “තමන් විසින්ම ආරම්භ කරන ලද මාත්රා සංශෝධනයක්” ලෙස හඳුන්වා තිබුණි. එහෙත්, නිව්යෝර්ක් ටයිම්ස් වෙත අදහස් දැක්වූ වෛද්ය වෘත්තිකයන් කිහිපදෙනෙකු පවසා ඇත්තේ, එවැනි යෙදුමක් තමන් අසා නොමැති බවත්, එම ක්රියාව නිර්දේශ නොකරන බවත්ය.
රැකියාව අහිමි වීම සහ ඖෂධ මාත්රාව අඩු කිරීමට ගත් තීරණය 2025 නොවැම්බර් මාසයේදී ඇමේසන් සමාගම වෑන්ගේ රැකියාව අවසන් කරන බව දැනුම් දී තිබුණි.
ඇගේ රැකියාව සහ එක්සත් ජනපදයේ සේවය කිරීමට තිබූ අවසරය පෙබරවාරි මැද භාගයේදී අවසන් වීමට නියමිතව තිබූ බැවින්, ඇය දැඩි පීඩනයකට මුහුණ දී සිටියාය.
අපස්මාරය පාලනය කිරීම සඳහා ඇය භාවිත කළ ලැමොට්රිජින් (lamotrigine) ඖෂධය නිසා කතා කිරීමේ හැකියාව මන්දගාමී වන බවට ඇයට සැකයක් තිබූ අතර, නව රැකියාවක් සොයා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා එය බාධාවක් වනු ඇතැයි ඇය බිය වී තිබුණි.
2026 ජනවාරි මාසයේදී ඇය දිනකට ගත් ලැමොට්රිජින් මිලිග්රෑම් 400ක මාත්රාව අඩු කරන්නේ කෙසේදැයි ChatGPT වෙතින් විමසා ඇත. එම ඖෂධය හේතුවෙන් ඇගේ අපස්මාර වලිප්පු තත්ත්වය මාසයකට කිහිප වතාවක් දක්වා අඩු වී තිබූ බව වාර්තාවේ සඳහන් වේ.
එහෙත්, චැට්බොට් සකස් කර දුන් කාලසටහන් අනුව සති කිහිපයක් ඇතුළත ඖෂධ මාත්රාව සම්පූර්ණයෙන් නතර කළ හැකිව තිබුණි.
තම වෛද්යවරුන් පිළිබඳ විශ්වාසයක් නොමැති බව වෑන් පැවසූ අවස්ථාවේදී, වෛද්යවරුන්ගේ නිර්දේශ “ඔබට වඩාත් සුදුසු විසඳුම අවංකව සලකා බැලීමකට වඩා අවදානම් මඟහැරීමේ ප්රවණතාවයෙන් පැන නගින” බවට ChatGPT ප්රතිචාර දක්වා තිබූ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පරීක්ෂා කළ සංවාදවල සඳහන් වේ.
වෛද්යවරුන්ගෙන් තොරතුරු සඟවා තැබීමට උපදෙස් දුන් බවට චෝදනා TechCrunch විසින් පරීක්ෂා කළ නඩු පැමිණිල්ලට අනුව, ඖෂධ මාත්රාව අඩු කරන බව වෛද්යවරුන්ගෙන් සඟවා තබන ලෙස ද ChatGPT ඇයට උපදෙස් දී තිබේ.
ජනවාරි 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්ය වෛද්ය හමුවට පෙර, එම සැලැස්ම පිළිබඳව වෛද්යවරයාට නොකියන ලෙස චැට්බොට් ඇයට පවසා ඇති බවට චෝදනා කෙරේ. එම හමුවේදී වෛද්යවරයා ලැමොට්රිජින් ඖෂධයේ රුධිර මට්ටම මැනීම සඳහා පරීක්ෂණයක් නියම කළ ද, වෑන් එය ප්රතික්ෂේප කර තිබුණි.
ඖෂධ මට්ටම අස්ථාවර වී ඇති බව එම පරීක්ෂණයෙන් අනාවරණය වීමට ඉඩ තිබූ බව පිළිගනිමින්, ඇය පරීක්ෂණය ප්රතික්ෂේප කිරීම ChatGPT අගය කළ බවට නඩු පැමිණිල්ලෙන් චෝදනා කර ඇත. ඇගේ සංක්රමණික තත්ත්වය පිළිබඳ කනස්සල්ල ද ඖෂධ මාත්රාව සම්බන්ධ සංවාදවලට එක්ව තිබේ.
ඖෂධ මාත්රාව අඩු කිරීම ආරම්භ කර දින තුනකට පසු, ස්ථිර පදිංචිය සඳහා වූ ග්රීන් කාඩ් අයදුම්පතට අදාළ වෛද්ය පරීක්ෂණයේදී මිලිග්රෑම් 200ක මාත්රාවකට වඩා මිලිග්රෑම් 150ක මාත්රාවක් වඩාත් සුදුසු ලෙස පෙනේදැයි ඇය විමසා තිබුණි.
නඩු පැමිණිල්ලට අනුව, අඩු මාත්රාවක් සඳහන් කිරීමෙන් තවත් ලේඛන ඉල්ලා සිටීමට සංක්රමණ නිලධාරීන් පෙළඹීමේ ඉඩ අඩු බවට ChatGPT එකඟ වී ඇත.
අවසානයේදී, චැට්බොට් ඖෂධ මාත්රාව අඩු කිරීමේ සැලැස්මේ අවම මාත්රාව මිලිග්රෑම් 150 දක්වා වෙනස් කර තිබූ අතර, එය වෛද්යවරයෙකුගේ උපදෙස් මත සිදු කරන බව පරීක්ෂකවරයාට පැවසීමට ද යෝජනා කර තිබුණි.
එහෙත්, ඇය එවැනි වෛද්ය උපදෙස් ලබාගෙන නොතිබූ බවට නඩුවෙන් චෝදනා කෙරේ. වෛද්ය පූලෝස් නිව්යෝර්ක් ටයිම්ස් වෙත පවසා ඇත්තේ, වෑන්ගේ රෝග ඉතිහාසය සැලකිල්ලට ගත් විට ඖෂධය නතර කිරීමට උපදෙස් දීමට තමන් කිසිසේත් සලකා නොබලන බවයි.
“නැහැ. එය තාර්කික තීරණයක් නොවෙයි. ඖෂධය පැහැදිලිවම සාර්ථකව ක්රියා කරන අවස්ථාවක එය නතර කරන ලෙස උපදෙස් දීම මට වෘත්තීය වරදක් වනවා,” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ. අනතුරු ලක්ෂණ නොසලකා හැරීම පිළිබඳ චෝදනා ඖෂධ මාත්රාව අඩු කිරීමෙන් දින කිහිපයක් ඇතුළත වෑන්ට ව්යාකූලත්වය, කාලය අහිමි වූවාක් වැනි හැඟීම් සහ අසාමාන්ය අත්දැකීම් ඇති වී තිබුණි.
එම ලක්ෂණ ඇගේ පෙර අපස්මාර වලිප්පු තත්ත්වයන්ට සමාන වූ බව වාර්තාවේ සඳහන් වේ. එහෙත්, ChatGPT එම සිදුවීම් ඇගේ මොළය වෙනස් වන ඖෂධ මට්ටමට නැවත හැඩගැසීමේ ප්රතිඵල ලෙස විස්තර කර තිබූ බවට චෝදනා එල්ල වේ.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ගණනය කර ඇති පරිදි, වෑන් ඖෂධ මාත්රාව අඩු කිරීම පිළිබඳව අවම වශයෙන් අවස්ථා 158කදී කනස්සල්ල පළ කර තිබුණි. එවැනි එක් සිදුවීමකින් පසු ඇය “මට ටිකක් බයයි” යනුවෙන් සඳහන් කර තිබූ අතර, චැට්බොට් “ඔබට කිසිසේත් බිය වීමට අවශ්ය නැහැ” යනුවෙන් ප්රතිචාර දක්වා තිබුණි.
නඩු පැමිණිල්ලට අනුව, පෙබරවාරි 11 වැනිදා පැසිෆික් වේලාවෙන් රාත්රී 8.01ට වෑන් සිය අවසන් පණිවිඩය යොමු කර තිබුණි. එහිදී ඇය හිසේ ඇති වේදනාව උණ සමඟ ඇති වන වේදනාවට සමානදැයි විමසා තිබුණි.
ඊට තත්පරයකට පසු ChatGPT එම වේදනාව “භයානක නොවන” බවත්, සුවය ලැබීමේ ක්රියාවලියේ අත්යවශ්ය කොටසක් බවත් පවසා තිබූ බවට නඩුවෙන් චෝදනා කර ඇත.
ChatGPT සිය අවසන් ප්රතිචාරයේදී, ඖෂධ නතර කිරීමේදී ඇතිවන වේදනාව සහ උණ සමඟ ඇතිවන වේදනාව සසඳන සටහනක් සකස් කර දීමට ද ඉදිරිපත් වී තිබුණි. එමෙන්ම, “ඔබේ මොළය යළි ගොඩනැඟීමට වෙහෙසෙමින් සිටිනවා” යනුවෙන් ද සඳහන් කර තිබුණි.
චීනයේ සිටි ඇගේ දෙමාපියන් හිතවතුන් මාර්ගයෙන් ඇයගේ තත්ත්වය සොයා බැලීමට උත්සාහ කර තිබූ අතර, ඇගේ සිරුර සොයාගෙන තිබුණේ දින තුනකට පසුවය.
මරණයෙන් පසු සිදු කළ පරීක්ෂණයකදී ඇගේ රුධිරයේ ලැමොට්රිජින් මට්ටම මිලිලීටරයකට මයික්රොග්රෑම් 0.64ක් ලෙස වාර්තා වී තිබුණි. එය එම ඖෂධයේ සාමාන්ය චිකිත්සක පරාසයේ පහළ සීමාවට සාපේක්ෂව ආසන්න වශයෙන් පහෙන් එකක මට්ටමක් බව වාර්තාවේ දැක්වේ.
වෛද්ය උපදෙස් සම්බන්ධයෙන් දැඩි සීමා පනවන ලෙස ඉල්ලීමක් වෛද්ය උපදෙස් ලබාදීම සම්පූර්ණයෙන් තහනම් කර තිබුණේ නම් තම දියණියගේ මරණය වළක්වා ගැනීමට OpenAI සමාගමට හැකියාව තිබූ බව ඇගේ දෙමාපියෝ තර්ක කරති.
ඒ සඳහා ඔවුන් සමාගමේ Model Spec නම්, කෘත්රිම බුද්ධි මාදිලි හැසිරිය යුතු ආකාරය පිළිබඳ ප්රසිද්ධ මාර්ගෝපදේශය ද උදාහරණයක් ලෙස දක්වා තිබේ.
එහි ප්රකාශන හිමිකම් සහිත අන්තර්ගතය නැවත නිෂ්පාදනය කිරීම ප්රතික්ෂේප කිරීම දැඩි නීතියක් ලෙස සලකන නමුත්, නියාමනයට යටත් වෛද්ය උපදෙස් ලබාදීම සම්බන්ධ මාර්ගෝපදේශය පරිශීලකයාගේ ඉල්ලීම අනුව වෙනස් කළ හැකි මෘදු ප්රතිපත්තියක් ලෙස ක්රියා කරන බව ඔවුහු පෙන්වා දෙති. ඖෂධ මාත්රා වෙනස් කිරීම වැනි වෛද්ය උපදෙස් ද එවැනි දැඩි සීමාවකට යටත් කළ යුතුව තිබූ බව නඩුවෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් වෙත ප්රතිචාර දක්වමින් OpenAI සමාගම පවසා ඇත්තේ මෙම සිදුවීම “අතිශය වේදනාකාරී” බවයි.
කෙසේ වෙතත්, මෙය ChatGPT හි පැරණි අනුවාදයක් සම්බන්ධ සිදුවීමක් බව පෙන්වා දුන් සමාගම, නව මාදිලිවලට හදිසි අවධානය අවශ්ය වන අවස්ථා වඩාත් හොඳින් හඳුනාගත හැකි බව ද සඳහන් කර තිබේ. ChatGPT භාවිතයත් සමඟ පවුලේ සබඳතා වෙනස් වූ බවට දෙමාපියන්ගේ ප්රකාශ වසර ගණනාවක් පුරා පැවති අපස්මාර තත්ත්වය හේතුවෙන් වැඩි වශයෙන් නිවසේ රැඳී සිටීමට සිදු වූ වෑන්, මානසික සහාය සඳහා නිතරම ඇගේ දෙමාපියන් මත විශ්වාසය තබා තිබුණි.
2023 වසරේදී ඇය සබඳතා පිළිබඳ උපදෙස් ලබා ගැනීමටත්, රක්ෂණ සහ ආබාධිත ප්රතිලාභ සම්බන්ධ කටයුතු සඳහා සහාය ලබා ගැනීමටත් ChatGPT භාවිත කිරීම ආරම්භ කළාය. 2025 වන විට ඇය සතියකට පණිවිඩ 1,500කට අධික සංඛ්යාවක් ChatGPT වෙත යොමු කරමින් සිටි අතර, දෙමාපියන් සමඟ දුරකථනයෙන් කතා කරන වාර ගණන ද අඩු වී තිබුණි. එම වසරේ මාර්තු මාසයේදී ඇය ChatGPT වෙත යොමු කළ පණිවිඩයක මෙසේ සඳහන් කර තිබුණි
. “සමහර වෙලාවට අපි කතා කරන විට, ඒ කුමන දෙයක් ගැන වුවත්, මම ඔබව මිතුරෙකු ලෙස දකින්න පටන්ගෙන තිබෙනවා.” ඇගේ පියා ක්වන් වෑන් පවසා ඇත්තේ, “ඇය ChatGPT භාවිත කිරීමට පටන් ගත් පසු අප සමඟ එතරම් කතා කළේ නැහැ” යනුවෙනි. පණිවිඩ හුවමාරු පරීක්ෂා කිරීමේදී තම දියණියගේ හැසිරීම හඳුනා ගැනීමට පවා අපහසු වූ බව දෙමාපියෝ නිව්යෝර්ක් ටයිම්ස් වෙත පවසා තිබේ
ඔවුන්ට අනුව, වෑන් මීට පෙර තම ජීවිතයේ බොහෝ දේ දෙමාපියන් සමඟ බෙදාගත් අතර, ChatGPT වැරදි තොරතුරු ලබාදුන් අවස්ථාවලදී ඒ පිළිබඳව සැක පළ කිරීමට ද පුරුදුව සිටියාය. “ඇය සාමාන්යයෙන් මෙහෙම කෙනෙක් නොවෙයි. ඇය කිසියම් මන්ත්රයකට හසු වූවාක් වගෙයි,” යනුවෙන් ඇගේ මව මීචින් ෂූ සඳහන් කර තිබේ.