රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ගැන මහාධිකරණයෙන් හදිසි තීන්දුවක්

Report

දූෂණ චෝදනාවකට අදාළ නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය නොවැම්බර් 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය. අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින විත්තිකාර රෝහිත බෝගොල්ලාගම මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ලන්ඩනයේ පැවති වෙළෙඳ ප්‍රදර්ශනයකට සහභාගී වීමේදී මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීමෙන් රජයට පාඩුවක් සිදුකර දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

වැඩිහිටියන්ට අද ලැබෙන සුබ ආරංචිය - ඔක්තෝබර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

වැඩිහිටියන්ට අද ලැබෙන සුබ ආරංචිය - ඔක්තෝබර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්