අවුරුදු සමයේ සහල් හිඟ වෙයිද? මිළ වැඩි වෙයිද? - ලාල්කාන්ත කියන කතාව මෙන්න!
අලුත් අවුරුදු සමයේදී සහල් හිඟයක් ඇති වීමට හෝ ඉහළ මිලකට අලෙවි කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය.
“අවුරුදු සමයේ සහල් හිඟයක් ඇති වෙනවා කියලා කියන්නේ විපක්ෂය සහ ඔවුන් වටේ ඉන්න පිරිසයි. අපි එහෙම කියන්නේ නැහැ. රජයත් එසේ පවසන්නේ නැහැ. සහල් හිඟයකින් තොරව සැපයුම සහතික කිරීමට රජය සතුව වැඩපිළිවෙළක් තිබෙනවා.
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය: “අපේ අරමුණ වුණේ ගොයම් කපන සමයේදී ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමයි. 2024/2025 මාස් කන්නයේදී ගොවීන්ට හොඳ මිලක් ලැබුණා. ඒ සඳහා වී අලෙවි මණ්ඩලය උපාය මාර්ග සකස් කළා.
කිසිදු ගොවියෙකුගෙන් හෝ ගොවි සංවිධානයකින් ‘අඩු මිලට වී විකුණන්න වුණා’ කියන පැමිණිල්ලක් හෝ උද්ඝෝෂණයක් ආවේ නැහැ. දුක්ගැනවිලිත් නැහැ. ඒ අනුව ගත්තොත්, ගොවි ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්නය විසඳිලා තිබෙනවා. අපි ඒ ප්‍රශ්නය විසඳුවේ ඒක විසඳිය යුතු ආකාරයටමයි. වී විකුණාගන්න බැරිවුණා කියලා කිසිම චෝදනාවක් නැති එකෙන් පේන්නේ, අප ගත් ක්‍රියාමාර්ග සාර්ථක වුණා කියන එකයි.
සහල් මිල කළමනාකරණය කිරීමට අවශ්‍ය නම්, ඕනෑම මොහොතක විදේශයන්ගෙන් සහල් ගෙන්වනවා. වැඩි මිලට විකිණීමත් පාලනය කරනවා.
අපේ ප්‍රතිපත්තිය වන්නේ රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කර ගැනීමයි. නමුත්, වර්තමාන කාලගුණික ගැටලු නිසා එය සම්පූර්ණයෙන් සකස් වන තුරු, අවශ්‍ය සහල් ප්‍රමාණය පිටතින් ගෙන්වා සහල් අවශ්‍යතාව කළමනාකරණය කරනවා.”
