ප්‍රසංගයත් නෑ.. සල්ලිත් නෑ.. - Ne-Yo ලංකාවට එරෙහිව ඇමරිකාවේදී නඩු මඟට
ඇමරිකානු R&B ගායක Ne-Yo (නී-යෝ) විසින් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය අවලංගු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ප්‍රසංග සංවිධායක සමාගමක් වන Brown Boy Presents විසින් ඇමෙරිකාවේදී නඩුවක් පවරා තිබේ.
‘Billboard’ වාර්තා කරන පරිදි, සංවිධායක සමාගම මෙම නඩුව මගින් ප්‍රසංගය සඳහා අත්තිකාරම් ලෙස ගෙවූ ඇමරිකානු ඩොලර් 284,460කට අධික මුදලක් නැවත ලබා ගැනීමට උත්සාහ කරයි.
සැප්තැම්බර් 4 වැනිදා ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවන් ලෙස Ne-Yo, ඔහුගේ සමාගම වන Compound Touring සහ ඔහුගේ වෙන්කිරීමේ නියෝජිත ආයතනය වන Independent Artist Group (IAG) නම් කර තිබේ. ගිවිසුම උල්ලංඝනය කිරීම ඇතුළු සිවිල් හිමිකම් කිහිපයක් ද එමගින් ඉදිරිපත් කර ඇත.
වාර්තාවට අනුව, 2025 දෙසැම්බර් 28 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ප්‍රසංගයක් පැවැත්වීම සඳහා Brown Boy Presents සමාගම Ne-Yo සමඟ ගිවිසුමකට එළැඹ තිබුණි.
එම ගිවිසුම යටතේ Ne-Yoට ඇමරිකානු ඩොලර් 325,000ක ස්ථාවර ප්‍රසංග ගාස්තුවක් හිමිවීමට නියමිතව තිබූ අතර, ප්‍රවේශපත්‍ර අලෙවිය මත අමතර ප්‍රසාද දීමනා, ගමන් වියදම් සහ නවාතැන් පහසුකම් ද ලබාදීමට එකඟ වී තිබූ බව සඳහන් වේ.
ප්‍රසංගය අවලංගු කිරීමට පෙර එකඟ වූ ගාස්තුවෙන් අවම වශයෙන් ඩොලර් 284,460ක් ගෙවා තිබූ බව Brown Boy Presents පවසයි.
කෙසේ වෙතත්, දෙසැම්බර් මස මුලදී Ne-Yo ප්‍රසංගයට සහභාගී වීමෙන් ඉවත් වීමත් සමඟ එය පැවැත්වීමට නොහැකි වී තිබේ.
දෙපාර්ශ්වයෙන් එකිනෙකාට චෝදනා
Ne-Yoගේ පාර්ශ්වය එම අවස්ථාවේදී චෝදනා කර තිබුණේ Brown Boy Presents සමාගම ගිවිසුමට අදාළව අවශ්‍ය ගෙවීම් සම්පූර්ණ කිරීමට මෙන්ම ගායකයා සහ ඔහුගේ කණ්ඩායම සඳහා එකඟ වූ පරිදි ගමන් හා නවාතැන් පහසුකම් සැපයීමට ද අපොහොසත් වූ බවයි.
ඒ අනුව, ගිවිසුම උල්ලංඝනය වී ඇති බැවින් දැනටමත් ගෙවා ඇති මුදල වන්දි ලෙස රඳවා ගැනීමට කටයුතු කරන බව Ne-Yoගේ පාර්ශ්වය සංවිධායක සමාගමට දැනුම් දී තිබූ බව සඳහන් වේ.
එහෙත් Brown Boy Presents සිය නඩුවෙන් පවසන්නේ ගිවිසුම ඉටු කිරීමට බාධා කළේ Ne-Yo සහ ඔහුගේ නියෝජිතයන් බවයි.
පුද්ගලයන් 30 දෙනෙකුට ආසන්න කණ්ඩායමක් සඳහා ඉල්ලා තිබූ අධික වියදම් සහිත ගුවන් ගමන් පහසුකම් හේතුවෙන් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තමන්ට බාධා එල්ල වූ බව සංවිධායක සමාගම චෝදනා කරයි. එම ගුවන් ගමන් සඳහා පමණක් අවසානයේ ඩොලර් 93,000කට ආසන්න මුදලක් වැය වන තත්ත්වයක් උද්ගත වූ බවද එහි සඳහන් වේ.
මීට අමතරව, නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාවට බලපෑ ඩිට්වා සුළි කුණාටුව සහ එහි ආර්ථික බලපෑම් හේතුවෙන් දේශීය ප්‍රවේශපත්‍ර අලෙවියට සහ සංවිධායක සමාගමේ කටයුතුවලට බලපෑම් එල්ල වූ බව නඩුවේ සඳහන් කර ඇත.
ප්‍රවර්ධකයා පෙන්වා දී ඇති බව කියන අමතර පාඩු අතර ප්‍රවේශපත්‍ර ආපසු ගෙවීම්, අනුග්රාහකයන් සම්බන්ධ පාඩු මෙන්ම ප්‍රසංග ස්ථානය සහ නිෂ්පාදන කටයුතු සඳහා දැරූ වියදම් ද ඇතුළත් වේ.
නී - යෝගේ පාර්ශ්වයෙන් චෝදනා ප්‍රතික්ෂේප කරයි
මේ අතර, Ne-Yoගේ කණ්ඩායම Brown Boy Presents විසින් ඉදිරිපත් කර ඇති චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
Ne-Yoගේ ප්‍රකාශකයෙකු ‘Billboard’ වෙත පවසා ඇත්තේ එම හිමිකම් “වංචනික සහ නොමඟ යවන සුළු” බවයි.
ප්‍රසංගයට පෙර Ne-Yoට සම්පූර්ණ ගෙවීම සිදු කිරීම සහ ගායකයා ඇතුළු ඔහුගේ මුළු කණ්ඩායම සඳහා වට-සංචාර ගමන් පහසුකම් සැපයීම Brown Boy Presents සමාගමේ ගිවිසුම්ගත වගකීමක් වූ බවද ඔහු පවසා තිබේ.
එම වගකීම් ඉටු කිරීමට අවස්ථා කිහිපයක් ලබා දී තිබියදීත්, ප්‍රවර්ධකයා ඒවා ඉටු කිරීමට අපොහොසත් වූ බවට ද Ne-Yoගේ පාර්ශ්වය චෝදනා කරයි.
තවද, Brown Boy Presents සමාගමට සිය ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් නොතිබූ බැවින් Ne-Yoට ප්‍රසංගයෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවද ඔහුගේ නියෝජිතයන් පවසා තිබේ.
Brown Boy Presents සහ අනෙකුත් පාර්ශ්ව සම්බන්ධයෙන් මීට සමාන චෝදනා පිළිබඳව තම කණ්ඩායම පසුව දැනුවත් වූ බවද Ne-Yoගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් Independent Artist Group (IAG) අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ‘Billboard’ වාර්තා කරයි.