ලංකාවම බලන් සිටි මොහොත අනිද්දා සිට - නැදුන්ගමුවේ රාජා හස්තියා නැවත බලන්න හැකි බව මහජනතාවට දැනුම් දෙයි
මෙරට වඩාත් ගෞරව බහුමානයට පාත්‍ර වූ ශ්‍රී දළදා මාලිගාවේ නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුක වස්තුවක් වශයෙන් ප්‍රතිස්ථාපනය කර විවෘත කිරීම හෙට දින කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ජීවමාන ස්වරූපය හා සමානව නැවත ප්‍රතිස්ථාපනය කළ අනුරුව අනිද්දා (11) සිට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතින බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි මහතා අද දින කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.
ආසියාවේ උසම හස්තියා වශයෙන් විරුදාවලිය ලත් නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට එක්වන්නේ වඩාත් විශ්වාසවන්තම හා සංයමයෙන් යුත් හස්තියා වශයෙන් වීම විශේෂත්වයක්.
එසේම 13 වතාවක් දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිකරගත් නැදුන්ගමුවේ රාජා දිවිසැරිය නිමා කළේ පසුගිය 2022 වසරේ මාර්තු 07 වැනි දිනයි.
දළදා පෙරහර මෙන්ම දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෙරහර රැසක කරඬුව වඩම්මවමින් පෙරමුණ ගත් නැදුන්ගමුවේ රාජාගේ සුවිශේෂත්වයක් විය. ඒ කොපමණ දුරක් වුවද පාගමනින් පමණක් ගමන් කිරීමට දැක්වූ ලැදියාවයි.
එමෙන්ම කළු මාමා වෙතින් ලද ආදරණය හා කරුණාව, මෙරට හීලෑ අලිඇතුන් අතරත් වඩාත් සංයමයකින් යුත් හස්තියා බවට පත්වීමට නැදුන්ගමුවේ රාජා කෙරෙහි බලපෑ තවත් සාධකයක් විය.
ඒ අනුව නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් වශයෙන් නම් කරමින් ශ්‍රී දළදා මාලිගාවේද මැදිහත්වීම මත දේහය සංරක්ෂණය කිරීමට තීරණය කෙරුණේ හස්තියා වටා ගොඩනැගුණු ආගමික හා සංස්කෘතික වටිනාකම් මතු පරපුරටත් සන්නිවේදනය කිරීමේ අරමුණින්.
එබැවින් හස්තියාගේ මරණයේ සිට දින 14ක් තුළ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ස්වාභාවික ජෛව සත්ත්ව අස්ථි විද්‍යා අංශයේ චර්ම විශේෂඥයින් කණ්ඩායමක් විසින් හස්තියාගේ චර්මය ඉවත් කිරීම වැලිවේරිය ප්‍රදේශයේදී සිදු කර තිබුණා.
මෙම කණ්ඩායමට සත්ත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව නැදුන්ගමුවේ රාජාගේ චර්මය සහ දළ යුගලය ඉවත් කිරීමට හැකි විය.
ඒ අනුව ජාතික තෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි මහතා සඳහන් කළේ මෙරට වඩාත් ගෞරව බහුමානයට පාත්‍ර වූ ශ්‍රී දළදා මාලිගාවේ රාජා අදටත් මහනුවරදී ජීවමාන අයුරින් දැකගත හැකි ලෙසම නැදුන්ගමුවේ රාජා ද දැකගැනීමට අනිද්දා සිට ජනතාවට අවස්ථාව පවතින බවයි.
එසේම මෙම අවස්ථාවට එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ප්‍රධාන චර්ම ශිල්පී චමල්කා කොතලාවල ද එක්ව සිටි බව සඳහන්.