මධ්‍යධරණී මුහුදේ හැරී නමැති ප්‍රබල සුළි කුණාටුවක් - කාලගුණය කැළඹෙයි - රටවල් රැසකට දැඩි බලපෑම්
මධ්‍යධරණී මුහුදේ හටගත් "හැරී" (Harry) නමැති ප්‍රබල සුළි කුණාටුව ඉතාලිය සහ මෝල්ටාව යන රටවලට දැඩි බලපෑම් එල්ල කරමින් යුරෝ බිලියනයකට වඩා වැඩි දේපළ හානියක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනවාරි මස මැද භාගයේදී දකුණු ඉතාලියට කඩාවැදුණු මෙම පීඩන අවපාතය, ප්‍රචණ්ඩ සුළං, අධික වර්ෂාව සහ භයානක මුහුදු රළ සමඟින් කලාපීය කාලගුණික අර්බුදයක් නිර්මාණය කර තිබුණා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතාලියේ සිසිලි, සර්ඩීනියා සහ කැලබ්‍රියා යන ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කිරීමට එරට සිවිල් ආරක්ෂක බලධාරීන් පියවර ගෙන ඇත.
එමෙන්ම මුහුදු වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මෙම කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර මැසාරා ඩෙල් වල්ලෝ ප්‍රදේශයේ මුහුදු රළ මීටර් 8ක් දක්වා ඉහළ ගිය බව ද සඳහන්.
වෙරළබඩ මාර්ග සහ අවන්හල් ජලයෙන් යටවීම නිසා ජනජීවිතය අඩාල වූ අතර, සර්ඩීනියාව ඇතුළු කුඩා දූපත් වෙත ක්‍රියාත්මක වූ බෝට්ටු සහ යාත්‍රා සේවා අත්හිටුවීමට ද බලධාරීන්ට සිදුව තිබුණා. එමෙන්ම සහන සේවා කටයුතු සඳහා ගිනි නිවන භටයන් 1,480කට අධික පිරිසක් යොදවා තිබූ අතර, ඔවුන් දින තුනක් ඇතුළත හදිසි මෙහෙයුම් 1,650කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බව වාර්තා විය.
එමෙන්ම වෙරළබඩ ප්‍රදේශවලට අමතරව රට අභ්‍යන්තරයට ද අධික වර්ෂාපතනයක් පතිත වූ අතර, ඇතැම් ස්ථානවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 300ක වර්ෂාපතනයක් වාර්තා වී තිබුණා. මේ අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 130ක් දක්වා ඉහළ ගිය අතර, එට්නා කන්ද අසල හිම කුණාටුවකට හසුවූ ස්විට්සර්ලන්ත ජාතික පවුලක් මුදාගැනීමට ද ඉතාලි මූල්‍ය පොලිසියට හැකියාව ලැබී තිබුණා.
ඊට අමතරව මෝල්ටාවට ද මෙම කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර, ප්‍රබල සුළං තත්ත්වය නිසා මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් ඉතාලිය වෙත හරවා යැවීමට ද සිදුව තිබූ බව සඳහන්.
කෙසේ වෙතත් ජනවාරි 21 වන විට කාලගුණික තත්ත්වය යම් මට්ටමකට ස්ථාවර වුවද, බලධාරීන් තවදුරටත් අවධානයෙන් පසුවන මෙන් ජනතාවට දැනුම් දී ඇත. එමෙන්ම මෙම කුණාටුවෙන් ඩොලර් බිලියනයක පමණ දේපළ හානියක් මේ වනවිට සිදුව ඇති අතර සිසිලි ආණ්ඩුකාරවරයාගේ ඇස්තමේන්තුවට අනුව එම කලාපයට පමණක් යුරෝ මිලියන 740ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා.
සර්ඩීනියාවේ ද දේපළ හානි ප්‍රමාණය ඉහළ අගයක් ගනු ඇති බවට අපේක්ෂා කෙරෙන අතර හදිසි තත්ත්වය හමුවේ ඉතාලි වෙරළාරක්ෂක බලකාය නෞකා, ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා 100කට අධික ප්‍රමාණයක් යොදවා සමුද්‍රීය දූෂණය සහ වෙරළබඩ අවදානම් නිරීක්ෂණය කරමින් සිටින බවද සඳහන්.
එසේම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ සාගර ජලය උණුසුම් වීම නිසා මෙවැනි සුළි කුණාටු අනාගතයේදී වඩාත් ප්‍රබල විය හැකි බවයි.
හැරී සුළි කුණාටුව මඟින් යුරෝපයේ යටිතල පහසුකම්වලට සහ හදිසි ප්‍රතිපාදනවලට එල්ල වූ පීඩනය, දේශගුණික විපර්යාස හමුවේ රටවල් මුහුණ දෙන අභියෝගයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර කුණාටුවේ ප්‍රබලම අවස්ථාව පහව ගොස් ඇතත්, සිදුවූ සමස්ත හානිය ගණනය කිරීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින බව සඳහන්.