රෝහල්වල ඉන්සියුලින් ඇතුළු ජීවිත ආරක්ෂක ඖෂධ හිඟයක්
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රජයේ රෝහල්වල ජීවිත ආරක්ෂක හා අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
දියවැඩියා රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉන්සියුලින්’ එන්නත්, කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන්ට පවා මේ වන විට නිකුත් නොකරන අතර, රටපුරා වෙනත් රෝහල්වල මාස තුනක පමණ කාලයක සිට ඉන්සියුලින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් නොමැති බව රෝගීන් සඳහන් කරති.
ඇතැම් රෝගීන්ට ඉන්සියුලින් මිලදී ගැනීමට මුදල් නොමැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, බොහෝ ප්‍රදේශවල පෞද්ගලික ඖෂධහල්වල ද ඉන්සියුලින් හිඟවීම නිසා ජනතාව තවත් අසරණ වී ඇතැයි ඔවුහු කියති.
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයේ රෝගීන්ට, තවත් සති දෙකකින් ඉන්සියුලින් තොග ඇත්දැයි විමසන ලෙස බෙහෙත් නිකුත් කරන කවුළුවලින් දැනුම් දී ඇතැයි රෝගීන් පවසති.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ, ජීවිත ආරක්ෂක ඖෂධ 13න් තුනක් සම්පූර්ණයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ හා රජයේ රෝහල්වල නොමැති බවයි.
එසේම, අවශ්‍ය ඖෂධ 460න් 183ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොගවල නොමැති අතර, රෝහල් 49ක එම ඖෂධ සම්පූර්ණයෙන්ම හිඟ බව ඔහු හෙළි කළේය.
ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව විසින් රජයේ රෝහල් සඳහා අනුමත ඖෂධ 612ක් අතරින්, ජීවිත ආරක්ෂක ඖෂධ 13ක්, අත්‍යවශ්‍ය ඖෂධ 460ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ 139ක් ලෙස වර්ග කර ඇතැයි කුමුදේශ් මහතා පැවසීය.
බෙහෙත් හිඟයට විසඳුම් නොයෙදීම නිසා, හදිසි අවශ්‍යතා යොදාගනිමින් ලියාපදිංචි නොවූ බාල හා ව්‍යාජ ඖෂධ ගෙන්වීමට ඉඩ ලැබෙන බව ඔහු අනතුරු ඇඟවීය.
