මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?
ජාතික ජන බලවේගයේ අමාත්‍යවරුන්ට ආරෝපණය කරමින්, ඔවුන්ගේ ප්‍රකාශ ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය සටහන් කිහිපයක සත්‍යතාව පරීක්ෂා කිරීමට අප ගත් උත්සාහයේ ප්‍රතිඵල පහත දැක්වේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“මාලනී ෆොන්සේකා පිළිකාවට කියලා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 40 ක් අරගෙන තියනවා. රාජ්‍ය ගෞරවය කෙසේ වෙතත් එයාට නීතිමය ක‍්‍රියාමාර්ග අරගන්නයි අපි හිටියේ” කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මියගිය මාලනී ෆොන්සේකා මහත්මියට රාජ්‍ය ගෞරව ලබා දෙනවාදැයි මාධ්‍යවේදියෙන් ඇසූ පැණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් බවට දක්වමින් එය ITN News හි වාර්තා කර ඇති බව ට සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණා. මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට අමාත්‍ය නලින් ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?
Facebook | Archived Link මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
ජාතික ජන බලවේගයේ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් සිදු කළ ප්‍රකාශ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා Fact Check සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සිංහල සිනමාවේ නිලි රැජින ලෙස විරුදාවලිය ලත්, සම්මානනීය නිළි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අද(24) දිනයේ අභාවප්‍රාප්ත වුණා. මේත් සමග ඇයගේ අවසන් කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සත්‍ය වශයෙන් ම මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරා. නමුත් මේ ආකාරයේ ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කළ බවට කිසිදු මාධ්‍යයක් වාර්තා කර නොතිබුණි.
එමෙන් ම ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි අද(24) දිනයේ කැබිනට් මාධ්‍ය හමුවක් ද පවත්වා නොතිබුණු බැවින් ද, මෙවැනි පුවතක් ITNnews නිල ෆේස්බුක් පිටුවේ හෝ පළ වී ඇත්දැයි යන්න පරීක්ෂා කළත් ඉහත සඳහන් ආකාරයේ පුවත් වාර්තා කර නොතිබුණි.
මේ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඒ මහතා සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, තමන් එවැනි ප්‍රකාශයක් කර නොමැති බව ත්, එලෙසින් ඇය වෙනුවෙන් හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා බවට හෝ ප්‍රකාශයක් කර නොමැති බවයි.
එමෙන් ම ස්වාධීන රූපවාහිනි නාලිකාවේ පුවත් කාර්ය මණ්ඩලයද, තහවුරු කළේ අමාත්‍ය නලින්ද , ජයතිස්ස මහතා සම්බන්ධයෙන් ඉහත සඳහන් ආකාරයේ පුවතක් වාර්තා කර නොමැති බවයි. ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ වන පුවත් ආකෘතිය යොදා ගෙන මෙවැනි අසත්‍ය සටහන් නිර්මාණය කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කළ බවට දක්වමින්, අසත්‍ය සටහන් නිර්මාණය වීමට හේතු වී තිබුණේ, පසුගිය දෙසැම්බර් මස 17 වන දා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී 2005 -2024 කාලය තුල ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධෙන් හෙළි කර තොරතුරු වලදී එම අරමුදලින් ලබා ගත් පුද්ගලයින් අතර W.M.S ෆොන්සේකා ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන ඇති බවත් පවසනවා.
මේ හේතුවෙන් මේ සඳහන් කරනු ලබන්නේ, වන්නිආරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබුණා.
කෙසේ වෙතත් තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ දෙසැම්බර් 19 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය සඳහා ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ගැනීම සඳහා චෙන්හිනායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා රුපියල් ලක්ෂ 50ක වෛද්‍යාධාර මුදලක් ලබා දුණි. දේශීය කලා හා සිනමා ක්ෂේත්‍රයට දක්වන ලද විශේෂ කුසලතා පදනම් කරගෙන ෆොන්සේකා මහත්මිය වෙත මේ වෛද්‍යාධාර මුදල ලබා දුන් බවයි. මේ සම්බන්ධයෙන් පළ වී තිබූ මාධ්‍ය වාර්තා මව්බිම 2024-12-24 (02 පිටුව)
කෙසේ වෙතත් මාලිනි ෆොන්සේකා මහත්මිය හෝ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසූ අනෙක් පුද්ගලයින් සම්බන්ධයෙන් හෝ විමර්ශනයන් සිදු වන බවට වාර්තා ද, දැක ගන්නට නොලැබේ.
තව ද, මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයේ අවසන් කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා නොදෙන බවට හැඟවීමට, මෙම සටහන් වලින් උත්සහ කර තිබුණත්, මාලිනි ෆොන්සේකා මහත්මිය සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතව ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට වැඩකටයුතු ලබන සඳුදා (26) නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට නියමිත වනවා. ඒ බවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළා.


