පැය දෙකකට වැඩියෙන් ප්‍රකාශ දුන් හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන් බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන මෙන් අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් මත ඔහු අද උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබුණා.
එහිදී පැය 2කට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් අතර, ඒ අවස්ථාවේ දී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ පාක්ෂිකයින් රැසක් එම ස්ථානයට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කර තිබුණා.
ඉකුත් 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ආකාරයෙන් ලබාගත් බවට එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබූ අතර එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබූණා
ඊට අඳාළව ඉකුත් මාර්තු 12 වන දින කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගන්නා ලදි. පසුව අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසමේ නිලධාරින් පැවසුවේ ප්‍රශ්නගත ගනුදෙනුවේදී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට මහතාටද, රුපියල් මිලියන 60ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන සිය කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් බවයි.
එහෙත් අල්ලස් කොමිසමේ බලධාරීන් තර්ජනය කොට බලහත්කාරයෙන් එම ප්‍රකාශය ලබාගත් බව දන්වා කපිල චන්ද්‍රෙස්න මහතා යොමුකළ දිවුරුම් ප්‍රකාශයක් ඔහුගේ නීතීඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එවන් පසුබිමක කපිල චන්ද්‍රෙස්න මහතාගේ මළ සිරුර ඉකුත් සිකුරාදා නිවසකින් සොයාගන්නා ලදි.
මෙම චෝදනා විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට අද දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම දන්වා තිබූ අතර ඒ අනුව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණ සිටියා.