පාසල් ළමුන්ට පාවහන් වවුචර දෙන්නේ නෑ - ඒ වෙනුවට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
මේ වන විට පාසල් ළමුන් 250ට අඩු පාසල් වෙනුවෙන් ක්‍රියාත්මක වන පාවහන් වවුචර ක්‍රමය වෙනුවට ප්‍රමිතියෙන් යුත්, දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ඍජුවම ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ සාකච්ඡාවක් ඊයේ (6) දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.
ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් 1266ක පාසල් ළමුන් 145,723ක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
අඳාළ නව වැඩපිළිවෙළ යටතේ, දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් මඟින් වසරක වගකීමක් සහිත ප්‍රමිතියෙන් යුතු එක් පාවහන් යුගලක් රුපියල් 2,100.00ක මුදලකට ලබා දීමට එකඟ වී ඇති බව වාර්තා වේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මෙමඟින් රජය රුපියල් මිලියන 140කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
එසේ ඉතිරි කර ගන්නා මුදල යොදවා මෙම පළාත් දෙකේ තවත් පාසල් දරුවන් 62,481කට පාවහන් ලබාදීමට හැකියාවක් ඇති බව ද එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.
මේ අතර අඳාළ ව්‍යාපෘතිය සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය පාවහන් නිෂ්පාදකයන් පමණක් තෝරා ගැනීමට පියවර ගන්නා බවත් වාර්තා වේ.
එසේම මෙහි ඇති තවත් විශේෂත්වයක් ලෙස අමාත්‍යාංශය නිවේදනය කරන්නේ තෝරාගත් නිෂ්පාදකයින්, අදාළ පාසල්වලට පැමිණ ළමුන්ගේ ප්‍රමාණයන් අනුව නිවැරදිව පාවහන් ලබාදීමට එකඟ වී තිබීමයි.
අඳාළ සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම දේශීය සම් භාණ්ඩ නිෂ්පාදන උපදේශන කමිටුවේ නියෝජිතයන් ද සහභාගී වී ඇත.