ඉන්ධන ඇමති රටේ හැමෝටම කළ අනතුරු ඇඟවීම..
ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග රටට ලැබී ඇති මොහොතක, විරෝධතාවලින් ඉන්ධන ප්‍රවාහනයට බාධා සිදුවන්නේ නම් අදාළ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද ප්‍රකාශ කළා
. මේ අතර, ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව මේ මොහොතේදීත් දිගු පෝලිම්වල රැදී සිටින අතර, ඇතැම් පිරිස් මාර්ග අවහිර කරමින් විරෝධතාවල ද නිරත වනවා. මේ වනවිට ඩීසල් හා පෙට්‍රල් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබාමින් පවතින අතර, ඊයේ රාත්‍රියේ තවත් පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා තිබෙනවා.
ඉදිරි දින 10 ඇතුළත තවත් ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් පැමිණීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ. කෙසේ වෙතත්, ඉන්ධන ඉල්ලා බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්ත සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසලින් අවහිර කරමින් ජනතාව අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූ අතර ඒ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ කොළඹ දෙසට පිවිසෙන මංතීරුවේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබුණා.
එසේම, ජා-ඇල - මීගමුව ප්‍රධාන මාර්ගය ද අද පෙරවරුවේ බෝපිටිය ප්‍රදේශයෙන් අවහිර වුණේ ඉන්ධන ඉල්ලා පැවති විරෝධතාවක් හේතුවෙන්. ත්‍රිකුණාමලය - මරතඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ද දෙපිරිසක් අතර ඇති වු බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හට ගෙන තිබුණා. ඉන්ධන හේතුවෙන් අම්බලංගොඩ ඉන්ධන පිරවුම්හලේ ද හට ගෙන තිබුණේ උණුසුම් තත්ත්වයක්.
ගාල්ල - දෙවට ප්‍රදේශයේ ද ඉන්ධන ඉල්ලා විරෝධතා පැවැත්වුණා. මීට අමතරව අද පෙරවරුවේ වැලිගම ඉන්ධන පිරවුම්හලට පැමිණි ඩීසල් රැගත් බවුසරයකට ඉන්ධන ගොඩබෑමට ඉඩ ලබා නොදීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම් තත්වයක් හටගත්තා. කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර අවධාරණය කළේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන සංචිත පවතින බවයි.
භූමිතෙල් ලබා ගැනීමේදී සිදුවන අවභාවිතයන් අවම කිරීමේ අරමුණින් ඉදිරියේදී භූමිතෙල් ලබාදීමත් සීමා කිරීමට සිදුවන බවයි ඔහු පැවසුවේ. මාධ්‍ය හමුව අතරතුර අමාත්‍යවරයාට ජනාධිපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ද ලැබුණා. මේ අතර, අනවසරයෙන් ඉන්ධන ලග තබා ගෙන අලෙවි කරන පුද්ගලයින් සොයා හෙට සිට දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළා.
ගෑස් නොමැතිවීම හේතුවෙන් ජනතාව තවදුරටත් අපහසුතාවයට පත්ව සිටිනවා. අද දිනයේදීත් ගෑස් ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා පැවති බව අප වාර්තාකරුවන් පැවසුවා. ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක යතුර හැටන් ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබූ අතර පසුව යළිත් එම යතුර රියදුරුට ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබුණා. ඊට හේතුවී තිබුණේ ගෑස් සිලින්ඩර තොගයක් එම ලොරි රථයෙන් ප්‍රදේශයේ ආපනශාලාවකට රැගෙන ගොස් භාරදීම බව අප වාර්තාකරු පැවසුවා.
මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් (12.5) රු:9920ක මිලකට අලෙවි කළ කොළොන්නාව ප්‍රදේශයේ බේකරි හිමියෙකු, ගෑස් සිලින්ඩර 40ක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ ගෑස් සිලින්ඩර 80,000 බැගින් අද සිට බෙදාහරින බවයි.
එසේම ලබන සඳුදා දිනයේදී තවත් ගෑස් නෞකා දෙකකට ඇමරිකානු ඩොලර් මිලියන 7 ක ගෙවීමක් සිදුකිරීමටද බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියා.