පණ්ඩතරිප්පු උත්සවයේ ගිනිකෙළි සංවිධායක රක්ෂිත බන්ධනාගාරයට – තවදුරටත් 21 දෙනෙකු රෝහලේ
යාපනය, පණ්ඩතරිප්පු ප්‍රදේශයේ පැවැති කෝවිල් උත්සවයක් අතරතුර සිදුවූ ගිනිකෙළි සංදර්ශනයට සම්බන්ධ සමාගමේ හිමිකරු ලබන සැප්තැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත.
උත්සව භූමියේදී භාවිත කළ ගිනිකෙළි, අධික දුමාරය සහ අධි බලැති ආලෝක ධාරා හේතුවෙන් 150 කට අධික පිරිසකට ඇස්වල ආබාධ සහ දැවිල්ල හටගැනීමෙන් රෝහල්ගත කර තිබේ.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තංගමුත්තු සත්‍යමූර්ති මහතා සඳහන් කර සිටියේ, ඉන් 21 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.