ජපාන - ඉන්දු විදේශ අමාත්‍යවරු හමු වී එකඟතාවයක්
ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් සන්ධිස්ථානයක් වන හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ සිදුවන නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ස්ථාවර බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා අත්වැල් බැඳ ගැනීමට ඉන්දියාව සහ ජපානය එකඟතාවකට පැමිණ තිබේ.
ජපාන විදේශ අමාත්‍යවරයා විසින් සිදු කරන ලද නිල ඉන්දීය සංචාරය අතරතුරදී දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මෙම තීරණයට එළඹ ඇත.
ඉන්දියාව, ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් සාමාජිකත්වය දරන ක්වාඩ් උපායමාර්ගික සංවිධානයේ විදේශ අමාත්‍ය මණ්ඩල සමුළුවට සහභාගී වීම සඳහා ජපන් විදේශ අමාත්‍ය මොටෙගි තොෂිමිට්සු මහතා ඊයේ නවදිල්ලිය බලා පැමිණියේය.
එම සංචාරයට සමගාමීව ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා හමුවී කලාපීය ආරක්ෂාව පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත්තේය.
මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවේදී අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ, වත්මන් භූදේශපාලනික අභියෝග හමුවේ ඉන්දියාව සහ ජපානය අතර පවතින සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් මෙන්ම පුළුල් වනු ඇති බවට තමන් දැඩි ලෙස විශ්වාස කරන බවයි.