අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි
පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ මේ වන තෙක් මෙරට කිසිදු නිල අධිකරණයකින් වැරදිකරුවකු වී නොමැති බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසති.
මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදු කරමින් උන්වහන්සේ අවධාරණය කළේ, යම් හෙයකින් උන්වහන්සේ අතින් දූෂණයක් හෝ වරදක් සිදුව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු පාර්ශ්වයකින් බාධාවක් නොවිය යුතු බවයි.
එහෙත් නිල අධිකරණ ක්‍රියාවලියක් මඟින් වරදක් ඔප්පු වීමටත් පෙර, ඇතැම් සමාජ මාධ්‍ය ජාලා විසින් උන්වහන්සේව වැරදිකරුවකු ලෙස හංවඩු ගසා තීන්දු ප්‍රකාශ කර අවසන් කර ඇති බව ද කස්සප හිමියෝ පෙන්වා දුන්හ.
මහා සංඝරත්නය මුහුණ දෙන මෙවැනි ගැටලු විග්‍රහ කිරීමේදී බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම විනයට අනුකූලව කටයුතු කිරීම වැදගත් බව උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය ප්‍රකාරව භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු විසඳීම සඳහා සුවිශේෂී සංඝාධිකරණ පිහිටුවීමට නෛතික ඉඩකඩ පවතින බව ද උන්වහන්සේ සිහිපත් කළහ.
කෙසේ වෙතත්, ව්‍යවස්ථාවේ එලෙස ප්‍රතිපාදන පැවතිය ද, ඒ සඳහා අවශ්‍ය වන සක්‍රිය නීතිමය පසුබිම සකස් කිරීමට පාර්ලිමේන්තුව මෙතෙක් පියවර ගෙන නොමැති බව ද බලංගොඩ කස්සප හිමියන් වැඩිදුරටත් මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියහ.