ඉන්දියාවේ උමගක් ඇතුළේ මහා පිපිරීමක් - කම්කරුවෝ 25ක් හිරවෙයි 10කගේ සිරුරු සොයාගනී
ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ ජල විදුලි ව්‍යාපෘතියක උමගක් තුළ සිදුවූ පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු පමණ සිරවී ඇති බවට සැක පළ වන බව බලධාරීහු පවසති.
ඊසානදිග ඉන්දියාවේ සමර්ඩුං ගම්මානයේ ටීස්ටා ගඟ ආශ්‍රිතව පිහිටි රජයට අයත් සීමාසහිත ජාතික ජල විදුලි බල සංස්ථාව National Hydroelectric Power Corporation Limited (NHPC) සමාගමේ ජල විදුලි ව්‍යාපෘතියකදී මෙම සිදුවීම වාර්තා වී තිබේ. දිස්ත්‍රික් නිලධාරී සුභාෂ් ගිමිරේ සඳහන් කළේ, උමග තුළ ඇති වූ සැක සහිත ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බවයි.
සීමාසහිත ජාතික ජල විදුලි බල සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, උමග තුළ සිරවී තිබූ හෝ පාෂාණ අතර තැන්පත් වී තිබූ බවට සැක කෙරෙන මීතේන් වායුවක් හදිසියේ පුපුරා යාමෙන් ඝන දුම සහ විෂ වායු පිටවීමක් සිදුව ඇති බවයි. රාජ්‍ය ආපදා කළමනාකරණ නිලධාරී රජීව් රෝකා සඳහන් කළේ, ගලවා ගැනීමේ කටයුතු දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි.
දුම සහ විෂ වායු තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට උමග තුළට ප්‍රවේශ වීම දුෂ්කර වී ඇති අතර, සිරවී සිටින පුද්ගලයන්ගේ දිවි ගලවා ගැනීමේ අවස්ථා පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවද ඔහු පැවසීය.
සීමාසහිත ජාතික ජල විදුලි බල සංස්ථාව සඳහන් කළේ, ව්‍යාපෘති සේවකයින් සහ නිලධාරීන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු උමග තුළ සිරවී සිට ඇති බවත්, මේ වන විට මළ සිරුරු 10ක් සොයාගෙන ඇති බවත්ය.
සික්කිම් ප්‍රාන්ත රජයේ නිල සමාජ මාධ්‍ය ගිණුමක පළ කළ ඡායාරූපවලින් දැක්වෙන්නේ, තැඹිලි පැහැති ආරක්ෂිත ඇඳුම් පැළඳ සිටින ගලවා ගැනීමේ කණ්ඩායම් ඔක්සිජන් සිලින්ඩර, ලණු සහ අනෙකුත් හදිසි උපකරණ රැගෙන මෙහෙයුම් සඳහා සූදානම් වන ආකාරයයි.