අවුරුදු 15ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතයට තිත තියන්න ප්‍රංශයේ පාර්ලිමේන්තු කමිටුවෙන් අනුමැතිය
ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කරන්න පාර්ලිමේන්තු කමිටුවක අනුමැතිය ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය (Social Media) භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතකට එරට පාර්ලිමේන්තු කමිටුවක අනුමැතිය හිමිව තිබේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාට අවශ්‍ය වී ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේදී පාසල් වාරය ආරම්භ වන වීටම ප්‍රථම මෙම තහනම ක්‍රියාත්මක කිරීමටයි. මීට පෙර ඔස්ට්‍රේලියාව ද වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ෆේස්බුක්, ටික්ටොක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් ලොව පළමු වරට මෙවැනි නීතියක් ගෙන එනු ලැබීය.
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් මෙම යෝජනාවට ප්‍රබල සහාය පළ කර ඇති අතර, දරුවන් අහිතකර සහ ඇබ්බැහි කරවන අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා එය වැදගත් මහජන සෞඛ්‍ය පියවරක් ලෙස හඳුන්වා දී තිබේ.
මෙම නීතිය යටතේ ප්‍රංශයේ උසස් පාසල්වල ජංගම දුරකථන භාවිතයද තහනම් කිරීමට යෝජනා කර ඇති අතර, එම සීමා මේ වනවිට ප්‍රාථමික හා මධ්‍යම පාසල් රැසක ක්‍රියාත්මක වේ.
ප්‍රංශයේ මහජන සෞඛ්‍ය අංශ නිකුත් කළ දත්ත අනුව, එරට යෞවනයන්ගෙන් අඩක් දිනකට පැය දෙකත් පහත් අතර කාලයක් ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරයි.
වයස අවුරුදු 12 සිට 17 දක්වා ළමුන්ගෙන් සියයට 90ක් දිනපතා අන්තර්ජාලයට පිවිසීම සඳහා ස්මාර්ට් දුරකථන භාවිත කරන අතර, ඉන් සියයට 58ක් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වන බවද අනාවරණය වී ඇත
. සමාජ මාධ්‍ය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම්, ආත්ම විශ්වාසය පහළ යාම සහ ස්වයංහානිකර හෝ සියදිවි නසා ගැනීම් සම්බන්ධ අන්තර්ගතයන්ට නිරාවරණය වීමේ අවදානම ඉහළ යන බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ.
මේ අතර, යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලෙයින් ද දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතයට දැඩි සීමා පැනවිය යුතු බවට සහාය පළ කර ඇති අතර, ඒ සඳහා යුරෝපා සංගමය පුරා ක්‍රියාත්මක කළ හැකි පොදු නීතිමය යෝජනා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් වේ.
ප්‍රංශයට අමතරව ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, තුර්කිය සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක්ද වයස අවුරුදු 15 හෝ 16ට අඩු දරුවන්ගේ TikTok, Instagram සහ YouTube වැනි සමාජ මාධ්‍ය වේදිකා භාවිතය සීමා කිරීම සඳහා නීතිමය පියවර ගෙන හෝ ඒ පිළිබඳ සලකා බලමින් සිටී.