මේ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි - මාර්තු අවසන් වීමට පෙර ගැසට් පත්‍රයක්
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන තෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (06) දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
ඔහු සඳහන් කළේ නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
එතෙක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
එමෙන්ම නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වැලි සහ ගල් වැනි ද්‍රව්‍ය සඳහා මෙම තහනම බල නොපාන බවද ඔහු පෙන්වා දුන්නා.
ඒ අනුව ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගානට් වැනි බර ඛනිජ සඳහා වන සියලුම ගවේෂණ සහ කැණීම් බලපත්‍ර ලබාදීම නව ප්‍රතිපත්තිය එළිදක්වන තෙක් අත්හිටුවා ඇති බව සඳහන්.
මේ අතර රටේ ඛනිජ සම්පත්වලින් ජාතියට උපරිම ප්‍රතිලාභ ලබාගැනීම අරමුණු කරගත් නව ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ලබන මාර්තු මාසය අවසන් වීමට පෙර ඊට අදාළ මාර්ගෝපදේශ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇති බව වාර්තා විය.
ඊට අමතරව පුද්ගල අභිමතය මත තීරණ ගැනීම වැළැක්වීම සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සමස්ත බලපත්‍ර ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට ද රජය පියවර ගනිමින් සිටින බව සඳහන්.
මිරිජ්ජවිල ප්‍රදේශයේ ඛනිජ වැලි ඉවත් කිරීමට කිසිදු පෞද්ගලික ආයතනයකට වත්මන් රජය යටතේ අවසර ලබාදී නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
2024 සැප්තැම්බර් මස නිකුත් කර ඇත්තේ ප්‍රවාහනයට අදාළ ලිපියක් පමණක් බවත්, එය ගවේෂණයට හෝ කැණීමට ලබා දුන් වලංගු බලපත්‍රයක් නොවන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා හෙළි කළා.
එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය වාර්තා ඔහු තරයේ ප්‍රතික්ෂේප කළ අතර ඉකුත් කාලසීමාව තුළ දේශපාලන බලය අනිසි ලෙස භාවිත කරමින් සිදු කළ නීතිවිරෝධී කැණීම් නිසා රටට අහිමි වූ සම්පත් ප්‍රමාණය අතිවිශාලය බව ද සඳහන් කළා.
ඒ අනුව රාජ්‍ය භාගය නොගෙවීම සහ නීතිවිරෝධී කැණීම් සම්බන්ධයෙන් දැනටමත් නඩු විශාල සංඛ්‍යාවක් පවතින අතර, ඉදිරියේදී මෙවැනි ජාවාරම් මැඩලීමට "ක්ෂණික වැටලීම් ඒකකයක්" ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.