අධික රස්නයත් වැස්සත් එකවර - දරුවන්ට රෝග අවදානම ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

By Malith Madushan Aug 15, 2026 06:17 AM GMT
Report

අධික උණුසුම සහ වැසි සමඟ දරුවන්ට රෝග අවදානමක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික උණුසුම් කාලගුණයත්, තවත් ප්‍රදේශවල පවතින වැසි සහිත තත්ත්වයත් හේතුවෙන් දරුවන් අතර විවිධ රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

විශේෂයෙන් අධික උෂ්ණත්වය හමුවේ දරුවන්, වැඩිහිටියන් සහ ගර්භනී මව්වරුන් විජලනයට ලක්වීමේ අවදානම වැඩි බැවින් ප්‍රමාණවත් ලෙස දියර ලබාදීම පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

අධික රස්නය පවතින අවස්ථාවල දරුවන් නිතර ජලය පානය කිරීමට යොමු කිරීමත්, නිවසින් බැහැරට යන විට ජලය රැගෙන යාමත් වැදගත් බව වෛද්‍යවරයා සඳහන් කරයි. දිගු වේලාවක් ප්‍රමාණවත් දියර ලබා නොගෙන අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් විජලනය, ක්ලාන්තය සහ තාපය ආශ්‍රිත සංකූලතා ඇතිවිය හැකි අතර, බරපතළ අවස්ථාවලදී තාප ආඝාතය ජීවිතයට පවා තර්ජනයක් විය හැකිය.

සුළු මොහොතකට පෙර අගෝස්තු 15 දිනය පුරා වලංගු නිවේදනයක් - 2න් පසු තත්ත්වය දරුණු වෙයි

සුළු මොහොතකට පෙර අගෝස්තු 15 දිනය පුරා වලංගු නිවේදනයක් - 2න් පසු තත්ත්වය දරුණු වෙයි

විශේෂයෙන් දරුවන් අව්වේ ක්‍රීඩා කිරීමේදී හෝ ක්‍රීඩා තරග සහ වෙනත් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වීමේදී වැඩි වශයෙන් දියර ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කර තිබේ.

අධික උණුසුම හමුවේ දරුවන්ට සමේ ආබාධ සහ විජලනය වැනි තත්ත්වද ඇතිවිය හැකි බව මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ද පෙන්වා දී තිබේ. පිරිසිදු ආහාර හා ජලය ගැන අවධානය මේ අතර වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවල ආහාර හා ජලය හරහා පැතිරෙන රෝග පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

ඒ අනුව දරුවන්ට පිරිසිදු පානීය ජලය සහ සෞඛ්‍යාරක්ෂිතව සකස් කළ ආහාර පමණක් ලබාදීමට දෙමාපියන් කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා පවසයි. විශේෂයෙන් කුඩා දරුවන්ට පාචනය ඇති වූ විට ඉක්මනින් විජලනය විය හැකි බැවින් එවැනි තත්ත්වයකදී දරුවාගේ දියර අවශ්‍යතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය.

පැණි බීම සහ අධික ලෙස සැකසූ කෙටි ආහාර වෙනුවට ජලය සහ සුදුසු ස්වාභාවික දියර වර්ග ලබාදීමට දෙමාපියන් යොමු විය යුතු බවද ඔහු උපදෙස් දෙයි. දරුවන් එළිමහනේ ක්‍රීඩා කරන්නේ නම්, අධික උණුසුම පවතින වේලාවන්හි එවැනි ක්‍රියාකාරකම් සීමා කර අතරමැදි විවේක ලබාදීමත්, සෙවන සහිත ස්ථානවල රැඳී සිටීමට අවස්ථාව ලබාදීමත් සුදුසුය.

සෞඛ්‍ය බලධාරීන්ද අධික උෂ්ණත්වය පවතින අවස්ථාවල දැඩි එළිමහන් ක්‍රියාකාරකම් සීමා කර ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙස උපදෙස් ලබාදී තිබේ. අධික රස්නය හමුවේ දරුවෙකුට අධික දුර්වලතාව, ක්ලාන්තය, වමනය, වලිප්පුව, සිහිමඳ බව හෝ සිහි නැතිවීම වැනි බරපතළ ලක්ෂණ මතුවුවහොත් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බවද සෞඛ්‍ය මාර්ගෝපදේශ පෙන්වා දෙයි.

එමෙන්ම දරුවන් දිගු වේලාවක් ජංගම දුරකථනවලට සීමා නොකර, ඔවුන්ගේ වයසට හා කාලගුණික තත්ත්වයට ගැළපෙන ආරක්ෂිත ශාරීරික ක්‍රියාකාරකම් සඳහා යොමු කරන ලෙසද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

ලංකාවේ ආයෝජනයට ඕස්ට්‍රේලියානුවන් සූදානම් - කිරි ගොවිපළේ සිට 3D තාක්ෂණය දක්වා ව්‍යාපෘති රැසක්

ලංකාවේ ආයෝජනයට ඕස්ට්‍රේලියානුවන් සූදානම් - කිරි ගොවිපළේ සිට 3D තාක්ෂණය දක්වා ව්‍යාපෘති රැසක්