වසර 76ක වාර්තාවක් බිඳ වැටෙයි - බවුමා ක්රිකට් ඉතිහාසය අලුත් කරයි
දකුණු අප්රිකානු ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා ඔස්ට්රේලියාවට එරෙහිව ලකුණු 179ක් රැස් කරමින් වසර ගණනාවක් පැරණි ක්රිකට් වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත්ව තිබේ.
දකුණු අප්රිකාවේ ග්කෙබෙර්හාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අඟහරුවාදා (20) බවුමා මෙම සුවිශේෂී ඉනිම ක්රීඩා කළේය.
වර්ෂාව හේතුවෙන් තරගයට බාධා එල්ල වී තිබූ අතර, නැවත තරගය ආරම්භ කිරීමෙන් පසු ඔස්ට්රේලියානු පන්දු යවන ක්රීඩක ස්කොට් බෝලන්ඩ් දකුණු අප්රිකානු මුල් පෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
එවැනි අසීරු තත්ත්වයක් යටතේ පිටියට පිවිසි බවුමා, රයන් රිකල්ටන්, මාර්කෝ යැන්සන් සහ සයිමන් හාමර් සමඟ එක්ව වැදගත් සබඳතා ගොඩනඟමින් දකුණු අප්රිකානු ඉනිම ශක්තිමත් කළේය.
ඔහුගේ ඉනිම අවසන් වන විට දකුණු අප්රිකාව පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 425ක් ලබා සිටි අතර, අනතුරුව ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබිණි.
ඉන්දියානු හිටපු නායකයාගේ වාර්තාවත් බිඳවැටෙයි
මෙම ඉනිමත් සමඟ ටෙස්ට් ක්රිකට් පිටියේ ඔස්ට්රේලියාවට එරෙහිව ලකුණු 150ක් හෝ ඊට වැඩි සංඛ්යාවක් රැස් කළ වයස්ගතම නායකයා බවට බවුමා පත්විය.
ඔහු එම දස්කම දැක්වූයේ වයස අවුරුදු 36යි දින 154ක් සම්පූර්ණ කර සිටියදීය.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉන්දීය හිටපු නායක මොහොමඩ් අසරුදීන්ය. ඔහු 1998 වසරේදී කොල්කටාහිදී ඔස්ට්රේලියාවට එරෙහිව ලකුණු 163ක් රැස් කළේය.
ඔස්ට්රේලියාවට එරෙහිව ටෙස්ට් ඉනිමකදී ලකුණු 150ක් හෝ ඊට වැඩි සංඛ්යාවක් රැස් කළ වයස්ගතම නායකයන් අතර බවුමා පළමු ස්ථානයට පත්ව ඇති අතර, අසරුදීන් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
වසර 76කට පසු දකුණු අප්රිකාවේදී වාර්තා වූ දස්කම
දකුණු අප්රිකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගයක ඉනිමකදී ලකුණු 150ක් හෝ ඊට වැඩි සංඛ්යාවක් රැස් කළ වයස්ගතම නායකයා බවට ද බවුමා පත්ව තිබේ.
මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ ඔස්ට්රේලියානු හිටපු නායක ආතර් ලින්ඩ්සේ හැසට්ය. ඔහු 1950 වසරේදී ග්කෙබෙර්හාහිදීම දකුණු අප්රිකාවට එරෙහිව ලකුණු 167ක් රැස් කර තිබිණි.
ඒ අනුව වසර 76කට පසුව එම වාර්තාව අලුත් කිරීමට බවුමා සමත්වීම විශේෂත්වයකි.
දකුණු අප්රිකාවේදී නායකයකු රැස් කළ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්යාව
බවුමාගේ ලකුණු 179 දකුණු අප්රිකාවේදී ටෙස්ට් තරගයක ඉනිමකදී එරට නායකයකු රැස් කළ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්යාව ලෙසද වාර්තා වේ.
එම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන්නේ ලකුණු 208ක් සහ 201ක් රැස් කළ හෂීම් අම්ලාය. ග්රේම් ස්මිත් ලකුණු 183ක් ලබා ගනිමින් එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි.
බවුමාගේ මෙම ඉනිමත් සමඟ දකුණු අප්රිකානු ක්රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගැනීමට ඔහු සමත්ව තිබේ.