වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල යළි ඉහළට - නව අගයන් මෙන්න
මැදපෙරදිග කලාපය තුළ නැවතත් උද්ගත ව ඇති දැඩි යුදකාමී සහ දේශපාලනික නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9% කට වඩා වැඩි ප්‍රමාණයකින් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 7.29 කින් හෙවත් 9.59% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 83.30 ක් ලෙස සටහන් වී තිබේ.
මෙය පසුගිය අප්‍රේල් 2 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම එක්දින ඩොලර් වර්ධනය වන අතර ජූනි 12 වැනිදායින් පසු සටහන් වූ ඉහළම බොරතෙල් මිල ද වේ. එමෙන්ම WTI බොරතෙල් මිල ද ඩොලර් 6.73 කින් හෙවත් 9.42% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.14 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම මිල ගණන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානය සමඟ යළිත් හමුදාමය ප්‍රහාර හුවමාරු වීමෙන් අනතුරුව, එක්සත් ජනපදය විසින් නව නාවික අවහිරයක් පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයයි. ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩවල වටිනාකමෙන් 20% ක මුදලක් ගාස්තු වශයෙන් අය කරගන්නා බවයි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා භාවිතා කරන සමුද්‍ර සන්ධි සඳහා මෙලෙස ගාස්තු අය කිරීමට තමන් දැඩිව විරුද්ධ වන බව පවසමින් එක්සත් ජාතීන්ගේ නාවික නියෝජිතායතනය ට්‍රම්ප්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, සමුද්‍ර සන්ධි හරහා ගමන් කිරීම සඳහා අනිවාර්ය බදු හඳුන්වා දීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව ද අවධාරණය කළේය.
මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීමට වොෂින්ටනයට මැදිහත් වීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ඉරානය ද දැඩිව ප්‍රකාශ කර ඇත.
තම රටේ අවසරයකින් තොරව සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට එක්සත් ජනපදය දරන ඕනෑම උත්සාහයකට සන්නද්ධව මුහුණ දෙන බව ද ඉරාන බලධාරීන් අනතුරු අඟවයි. පසුගිය පෙබරවාරි අගභාගයේදී මෙම කලාපීය ගැටුම ආරම්භ වීමට පෙර, ගෝලීය දෛනික තෙල් සහ ස්වාභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරුණේ සමස්ත ලෝක බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක වන මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය.