සියලුම පෙර පාසල්වලට කරන්න යන දේ මෙන්න - පෙර පාසල් දරුවන්ට මෙහෙම අකුරු ලියවන්නත් එපාලු
ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය විසින් පෙර පාසල් දරුවන්ට බලහත්කාරයෙන් අකුරු ලියවීමට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමය ධාරිතාව පටු වන බවත්, පෙරපාසල් අධ්‍යාපනය යනු අකුරු හා වාක්‍ය ලිවීමට හුරු කිරීම නොවන බවත් අවධාරණය කර ඇත.
එසේම අමාත්‍යවරිය සඳහන් කළේ පෙරපාසල් විෂය පථය රජයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් යටතට ගෙන ඒම අත්‍යාවශ්‍ය බවයි.
එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සමඟ එක්ව සියලුම පෙර පාසල් සඳහා එක් ක්‍රමවේදයක් හා ප්‍රතිපත්තියක් සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
තවද මෙය හුදෙක් පෞද්ගලික අංශයට පමණක් තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි, රටක ජාතික අවශ්‍යතාවයක් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
පෙර පාසල් අධ්‍යාපනය යනු දරුවා අවිධිමත් අධ්‍යාපනයේ සිට විධිමත් පාසල් අධ්‍යාපන පද්ධතියට ගැළපෙන සේ සකස් කරන සමගාමී තලයක් විය යුතු බවත් එහිදී වැදගත් වන්නේ සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් අකුරු හා වාක්‍ය ලියවීම නොව, දරුවාගේ කුසලතා වර්ධනය කරන ක්‍රියාකාරකම් පාදක කරගත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම බවත් මෙහිදී අමාත්‍යවරිය අවධාරණය කර සිටියා.
මේ අතර ඇය පෙන්වා දුන්නේ බොහෝ විට පෙර පාසල්වලදී දරුවාගේ අත මිරිකා, අකුරු රවුම් කිරීමට උත්සාහ කිරීමෙන් දරුවාගේ බුද්ධිමය ධාරිතාව හැකිලීමක් සිදුවන බවයි.
"අකුරු ලියවනවාට වඩා දරුවාගේ ඇඟිලි තුඩුවල සුහුරු බව වැඩි කරන කඩදාසි රෝල් කිරීම, පින්සල සහ පාට කූරු හැසිරවීම වැනි ක්‍රියාකාරකම් තුළින් මොළයේ ධාරිතාව වර්ධනය වෙනවා," යනුවෙන් ඇය සඳහන් කළා.
එමෙන්ම තම දරුවාට අකුරු ලියා ගැනීමට නොහැකි වීම පිළිබඳව දෙමාපියන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවද ඇය ප්‍රකාශ කළා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ දරුවෙකු අනාගතයේදී කෙතරම් දක්ෂයෙකු වේද යන්න තීරණය වන්නේ ඔහු අද ලියන අකුර මත නොව, පෙර පාසල් අවධියේදී ලබන නිදහස් ක්‍රියාකාරකම් තුළින් ගොඩනැගෙන ප්‍රභාමත් මනස මත බවයි.