HIV මාරයා බිහිසුණු ලෙස ව්‍යාප්ත වීමක් - HIV ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට
නව HIV ආසාදන සංඛ්‍යාව ඉහළ යාමත් සමග ෆීජි රාජ්‍යය HIV ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එරට රජය සඳහන් කරන්නේ, 2025 වසරේදී පුද්ගලයින් 2,016 දෙනෙකුට HIV ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර, වැඩිහිටියන් 60 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ HIV සමග ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම වසරේදී HIV ආසාදනය සහිතව දරුවන් 59 දෙනෙකු උපත ලබා ඇති අතර, ඔවුන්ගෙන් 18 දෙනෙකු පළමු උපන්දිනයට පෙර මියගොස් ඇති බවද ෆීජි රජය පවසන බවයි.
බලධාරීන් සඳහන් කර ඇත්තේ වැඩිදියුණු කළ පරීක්ෂණ ක්‍රමවේද හේතුවෙන් ආසාදිතයින් හඳුනාගැනීම ඉහළ ගොස් ඇති අතර, එමගින් ඔවුන්ට ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට හැකි වී ඇති බවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ නොමිලේ, ස්වේච්ඡාවෙන් සහ රහසිගතව HIV පරීක්ෂණ සිදුකිරීමේ පහසුකම් පුළුල් කිරීමට ෆීජි රජය සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම HIV වැළැක්වීම සඳහා ලබාදෙන ඖෂධ, ප්‍රතිකාර සහ මත්ද්‍රව්‍ය එන්නත් මගින් භාවිත කරන පුද්ගලයින් සඳහා අවදානම අවම කිරීමේ සේවාවන් පුළුල් කිරීමටද සැලසුම් කර ඇති බව සඳහන් වේ.
UNAIDS සංවිධානයට අනුව, නව HIV ආසාදන ඉහළ යන වේගය අනුව ෆීජි ලොව ඉහළම වර්ධනයක් පෙන්නුම් කරන රටවල් අතරට එක්ව තිබේ. එම සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, පසුගිය වසරේ ෆීජි ජාතිකයින් 9,100ක් පමණ HIV සමග ජීවත් වී ඇති අතර, ඔවුන්ගෙන් තම HIV තත්ත්වය පිළිබඳ දැන සිට ඇත්තේ සියයට 39ක් පමණයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ප්‍රතිවෛරස ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ සියයට 22ක් පමණක් බවයි.
හඳුනාගත් ආසාදන අතරින් ආසාදනය සිදුවූ ආකාරය තහවුරු කළ හැකි සිද්ධීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ලිංගික සම්ප්‍රේෂණයට සම්බන්ධ වන අතර, සියයට 42කට වැඩි ප්‍රමාණයක් එන්නත් මගින් මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ බව UNAIDS පවසා ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ HIV ආසාදන පාලනයට ඇති බාධා ඉවත් කිරීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක්ද ස්ථාපිත කර ඇති බවයි.