ඊබ්‍රාහිම්ට එරෙහි පාස්කු නඩුව කල් යයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට සැඟවූ බවට චෝදනා එල්ල වී සිටින දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම්ට එරෙහි නඩුවේ විභාගය ජූලි 02 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
එහිදී, නඩුවේ දෙවන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි, මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කළ තැනැත්තිය විදේශගත වී ඇති බව හෙළි විය. අනෙක් සාක්ෂිකාරියක ද විදේශගත වීමේ අවදානමක් ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
ඒ අනුව, විදේශගත වූ සාක්ෂිකාරියට නැවත සිතාසි නිකුත් කිරීමටත්, ඇයගේ විදේශ ගමන් සම්බන්ධ වාර්තා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන ඉන්සාබ් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලින් වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින්, නීතිපතිවරයා විසින් මොහොමඩ් ඊබ්‍රාහීම් සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
