දැවී අළු ගිය සෙනෙහසේ කැදැල්ල ගැන තවත් තොරතුරු රැසක් එළියට - බලධාරීගෙන් දීර්ඝ හෙළිදරව්වක්

Report

හදිසි ගින්නකින් පුද්ගලයින් දහතුන් දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ල නේවාසික ආයතනයේ පැවති විවිධ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදාළ ප්‍රදේශය භාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් නිසි පියවර හෝ ක්‍රියාමාර්ග නොගත් බවට එල්ල වන සියලුම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිල වශයෙන් පවසයි.

එම සංගමයේ සභාපති ආර් සෙන්දිල් මහතා පෙන්වා දෙන්නේ අදාළ පෞද්ගලික නිවාසයේ දීර්ඝ කාලයක් පුරා පවතින බරපතළ ගැටලු සහ අඩුපාඩු පිළිබඳව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අවස්ථා කිහිපයකදීම ඉහළ වගකිවයුතු බලධාරීන්ව නිසි පරිදි දැනුවත් කර තිබූ බවයි.

රටම කම්පා වුන 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් මිය ගිය ගණන ඉහළට

රටම කම්පා වුන 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් මිය ගිය ගණන ඉහළට

විශේෂයෙන්ම ආබාධිත තැනැත්තන් සඳහා වූ මහලේකම් කාර්යාලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව මෙන්ම ප්‍රදේශය භාර පොලිසිය ඇතුළු සියලුම වගකිවයුතු බලධාරීන් වෙත මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පසුගිය පෙබරවාරි මස හයවැනිදා මේ සම්බන්ධයෙන් විශේෂ ලිඛිත නිවේදනයක් මඟින් කරුණු දැනුවත් කර ඇත.

2024 නොවැම්බර් මාසයේ සිට මෙම පෞද්ගලික ආයතනය පවත්වාගෙන යනු ලබන අතර, එහි ආරම්භයේදී මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන කාන්තාවන් සඳහා පමණක් වෙන්ව තිබූ මෙම නිවාසය, පසුව කිසිදු අවසරයකින් තොරව මානසික රෝගී පිරිමි පුද්ගලයින් සඳහා ද රැකවරණය සලසන ස්ථානයක් බවට පත් කර ඇති බව එම නිල ලිපියෙන් ප්‍රාදේශීය ලේකම්වරිය පැහැදිලිව සඳහන් කර තිබේ.

එම නිවාසය නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව පවත්වාගෙන යාමට එහි හිමිකරුවන් අවශ්‍ය පියවර ගෙන නොමැති බවත්, නිසි ආරක්ෂිත වැටක් හෝ තාප්පයක් නොමැති වීම හේතුවෙන් එහි සිටි පිරිස් නිරන්තරයෙන් ඉන් පැනයාමේ සිදුවීම් මෙන්ම මීට පෙර සැකකටයුතු මරණ කිහිපයක් ද වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු කර තිබූ බව සඳහන් වේ.

එම නිවාසය තමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් විසින් වරින් වර සෘජුවම අධීක්ෂණය කර ඇති අතර, එය ක්‍රමවත්ව, සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසිදුව පවත්වාගෙන යන ලෙසත්, නියමිත ධාරිතාව ඉක්මවා නේවාසිකයින් බලහත්කාරයෙන් ඇතුළත් කර නොගන්නා ලෙසත් එහි හිමිකරුවන් වෙත අවවාද කර තිබුණ ද, ඔවුන් එම උපදෙස් කිසිවක් පිළිපැද නොමැති බව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය පසුගිය පෙබරවාරි මාසයේ බලධාරීන් වෙත යොමු කළ ලිපියේ පැහැදිලිව දැක්වේ.

ආණමඩුවේ දී මාරක අනතුරක් - වන්දනාවේ ගිය ලොරියක් පෙරළී 12ක් රෝහලට

ආණමඩුවේ දී මාරක අනතුරක් - වන්දනාවේ ගිය ලොරියක් පෙරළී 12ක් රෝහලට

මෙම අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගෙන, මානසික ආබාධ සහිත අසරණ පුද්ගලයින් කිසිදු නියාමනයකින් හෝ වෘත්තීය අධීක්ෂණයකින් තොරව වාණිජ පදනමින් භාරගනිමින් පවත්වාගෙන යනු ලබන මෙම නිවාසය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය එරට ඉහළ බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබූ බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.