මැයි රැළිත් තියලා, පුද්ගලයෙකුත් යට කරගෙන ගිහින්
නුගේගොඩ ස්වයං රැකියා සංගමයේ සංවිධායකවරයකු තමාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂකයන් බව කියූ පිරිසක් විසින් ඩිෆෙන්ඩර් රථයකින් යට කර බරපතළ තුවාල සිදුකර පලා ගිය බවට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
වයස අවුරුදු 63 ක තිදරු පියකු වන ඔහු හොරණ පදිංචිකරුවෙක් වන අතර අනතුරින් තුවාල ලැබූ ඔහු පදික වෙළෙන්දකු ලෙස ද ක්‍රියා කරයි.
අනතුර සිදු වී ඇත්තේ ඉකුත් 1 දින නුගේගොඩ නගරයේ මැයි දින රැලියක් පැවති ස්ථානය ආසන්නයේ තිබූ වෙළඳසලක් අසල දී යි. තුවාලකරු මිතුරකු සමඟ එම ස්ථානයේ රැඳී සිටි බවත් එහි දී රැලිය අමතා එම ස්ථානයෙන් පිටව ගිය ඩිපෙන්ඩර් රථයක් තම දකුණු පාදය මතින් යාම නිසා මෙම අනතුර සිදු වූ බව සඳහන්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තුවාලකරු එම අවස්ථාවේ දී කෑගසමින් බිම ඇඳ වැටී ඇත.
එම අවස්ථාවේ දී ඔහු වෙත පැමිණි ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු ඔහු ඔසවා වෙළඳසලක් අසලින් තබා පිටව ගොස් තිබෙනවා.
ඉන්පසු එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් පිරිසක් තමාව ගිලන් රථයකින් රෝහලට ගෙන යාමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවත් පසුව ත්‍රිරෝද රථයකින්ම රෝහලට ගිය බවත් තුවාලකරු පවසයි.
තුවාලකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ
"එදා හවස 4.30 ට පමණ මමයි මගේ යාළුවකුයි නුගේගොඩ මාකට් එක ගාවට ගියා තේ එකක් බොන්න කියලා. එතැන මැයි දින රැස්වීමක් තිබුණා. මගේ යාළුවා කඩෙන් එළියට ගිය ගමන්ම මමත් ගියා යාළුවා බලන්න. ඒ කිට්ටුව තිබ්බා කළුපාට ඩිපෙන්ඩරයක් එක පාරටම කළුපාට ඩිෆෙන්ඩරේ එතැනින් ඉස්සරහට ගියා මගේ කකුලත් යට කරගෙනම. මම කෑ ගහනකොටම ඩ්‍රයිවර් ඇවිල්ලා මාව උස්සලා පැත්තකින් තියලා යන්න ගියා. කිසිම කෙනෙක් මාව ඉස්පිරිතාලේ අරගෙන ගියේ නෑ. මම එතැන ගොඩක් වෙලා කෑ ගගහා හිටියත් කිසිම කෙනෙක් ආවේ නෑ. පොලිසියේ මහත්තුරු තුන්දෙනෙක් ඇවිල්ලා සුවසැරිය ගිලන් රථයට කෝල් දුන්නා. ඒ ගොල්ලෝ කිව්වා දෙනිවල තමයි ඒක තියෙන්නේ කියලා. පස්සේ වඩේ කරත්තයක ගැනු කෙනෙක් මට රුපියල් දෙසීයක් දීලා අඳුරන ත්‍රිවිලර් එකකින් මාව කළුබෝවිල රෝහලට යැව්වා. මගේ කකුල කැඩුණත් කිසිම කෙනෙක් මාව බලන්න ආවේ මගේ දුක බලන්න කිසි කෙනෙක් නෑ. අන්තිමට මම අසරණ වුණා. මම අවුරුදු 18 ක් තිස්සේ පදික වේදිකාවේ වෙළඳාම් කරනවා. දැන් මට සල්ලි නැති හින්දා අනිත් වෙළෙන්දන්ට සපෝට් එකක් දීලා ජිවත් වෙනවා" යනුවෙනුයි.
එහි දී ඔහු සඳහන් කළේ වෛද්‍යවරුන් තම දකුණු පාදයේ වළලුකර බිඳී ඇති බවට පැවසූ බවයි.
එසේම අදාළ ස්ථානයේ රැස්වීම පැවැත් වූ පක්ෂයේ කිසිදු වගකිව යුත්තකු තවමත් තමා බැලීමට පැමිණියේ නැති බවත් තුවාලකරු පවසයි.
කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් ඉකුත් 2 දින ඔහු නිවසට ඒවා ඇති අතර කළුබෝවිල රෝහල් පොලිසිය ද තමාගෙන් ප්‍රකාශ ලබා ගත් බව මෙම පුද්ගලයා සඳහන් කරයි.
