''විදුහල්පතිවරයෙකුට දිවි අහිමි කළ බිහිසුණු අනතුර'' - දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට
දඹුල්ල - හබරණ ප්රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්රදේශයේදී සිදුවූ බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ත්රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (18) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ 38 හැවිරිදි දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජානක විජේසිංහ මහතා බව වාර්තා වේ. පොලීසියට අනුව, දඹුල්ල දෙස සිට හබරණ දෙසට මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි විදුහල්පතිවරයාගේ රථයේ බස් රථය මුහුණට මුහුණ ගැටී තිබේ.
බස් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් එය මාර්ගයේ ප්රතිවිරුද්ධ මංතීරුවට පැමිණ මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ගැටීමෙන් අනතුරුව විදුහල්පතිවරයා ගමන් කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී ඇති අතර, බස් රථය තවදුරටත් ඉදිරියට ගොස් සංචාරක හෝටලයක් ඉදිරිපිට නවතා තිබූ තවත් මෝටර් රථයක ගැටී අවන්හලක් වෙත කඩා වැදී තිබේ.
අනතුරින් බස් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් පසු මෝටර් රථය තුළ සිරවී සිටි විදුහල්පතිවරයා ඉන් පිටතට ගැනීම සඳහා ප්රදේශවාසීන් විනාඩි 45කට අධික කාලයක් දැඩි පරිශ්රමයක නිරත වී තිබේ.
බරපතළ තත්ත්වයේ සිටි විදුහල්පතිවරයා දඹුල්ල මූලික රෝහලට රැගෙන යන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ මහතා සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳව දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.