මධ්‍යම ප්‍රවාහනයේ වැදගත් ලිපි ගොනු තොගයක් විනාශ කරලා - විශේෂ අනාවරණයක්
මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරිය සතු අතිශය වැදගත් රාජ්‍ය ලිපිගොනු රැසක් නීතිවිරෝධී ලෙස විනාශ කිරීමේ බරපතළ සිදුවීමක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.
ඒ අනුව මෙම වංචනික ක්‍රියාවට අදාළව අධිකරණය සහ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මීට පෙර නිකුත් කර තිබූ නීතිමය නියෝග මධ්‍යම පළාත් සභා බලධාරීන් විසින් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ද කමිටු විභාගයේදී අනාවරණය විය.
මේ හේතුවෙන්, අදාළ සිදුවීමට මැදිහත් වූ නිලධාරීන් සහ ඊට සම්බන්ධ සියලුම වාර්තා මෙන්ම ලිපි ලේඛන වහාම පාර්ලිමේන්තු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටු සභාපතිවරයා මධ්‍යම පළාත් සභාවේ උසස් නිලධාරීන්ට දැඩි ලෙස උපදෙස් දුන්නේය.
මීට අමතරව, මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ මගී ප්‍රවාහන සේවාවන්හි සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා මෙන්ම, පළාත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින පරිපාලනමය ගැටලු පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.
එහිදී විශේෂයෙන්ම අනාවරණය වූයේ, මාර්ග සංවර්ධන අධිකාරිය සතු රාජ්‍ය ගිමන්හලක් පවතින බදු කොන්දේසි සහ නීති රීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින්, අනීතික අයුරින් තෙවන පාර්ශ්වයක් වෙත පැවරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි.
මෙම සියලු දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් පියවර ගන්නා ලෙස කෝපා කමිටුව පළාත් සභා බලධාරීන්ට නියෝග කළේය.