දූෂණයට තිත තබමින් - COPA සහ COPEට නව බලයක් හමුවෙයි..
පසුගිය සතියේ පාර්ලිමේන්තුව විසින් ස්ථාවර නියෝග සංශෝධන දෙකක් ඒකමතිකව සම්මත කරමින්, දූෂණ හා වංචා විමර්ශනයට අලුත් මාර්ගයක් විවෘත කර තිබෙනවා.
නව සංශෝධන අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ රජයේ ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (COPE) විසින් සිදුකරන විමර්ශනවලදී බරපතල මූල්‍ය වංචා, අල්ලස් හෝ දූෂණ ක්‍රියා හෙළිවුවහොත්, ඒවා සෘජුවම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට දැන් හැකියාව ලැබී තිබෙනවා.
මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය යටතේ, එවැනි කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කර පසුව පියවර ගැනීමට කාලය ගතවූ අතර, නව නියෝග හරහා එම ප්‍රමාදය ඉවත් කරමින් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දොරටු විවෘත කරයි.
COPA කමිටුවට අදාළ ස්ථාවර නියෝග අංක 119(4) සහ COPE කමිටුවට අදාළ ස්ථාවර නියෝග අංක 120(4) යටතට නව ඡේද එක් කරමින් මෙම බලතල ලබා දී තිබෙනවා.
මෙම තීරණය රජයේ ආයතනවල පිරිසිදුභාවය වැඩි කිරීමත්, දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම වේගවත් කිරීමත් සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.