හර්ෂ ඉලුක්පිටියට විරුද්ධ පැමිණිල්ල විභාගයට
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ නඩුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුණු මඩුල්ල ඉදිරියේ දී විභාග වී ඇත.
මෙහිදී පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී අරවින්ද ගුණරත්න මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුව තිබෙනවා.
එහිදී එක් පෙත්සමක් ඉදිරිපත් කර සිටි ජනාධිපති නීතීඥ සුමන්තිරන් මහතාගේ මෙහෙයවීම උඩ සාක්ෂි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රමවේදය අභියෝගයට ලක් කර ඇත.
එසේ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඇති බවත් ඊට අදාළ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝග නිකුත් කර ඇති බවත් පවසා ඇත.
පසුගිය වසරේ අගෝස්තු මස දෙවන දින මෙම අතුරු තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.
අනතුරුව වගඋත්තරකාර ආගමන හා විගමන පාලකවරයා විසින් අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කොට අඳාළ නියෝග ක්‍රියාත්මක කිරීම අපහසු බවට දැනුම් දී තිබූ බව ද ඔහු පවසයි.
පසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සාක්ෂි මෙහෙයවීමෙන් පසු වග උත්තරකරුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර ඇත.
එසේම විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ සාක්ෂිකරුගෙන් ද සාක්ෂි සටහන් කර ගෙන තිබෙනවා.
තවද වගඋත්තරකරු සඳහා පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් නඩුකරයට පාදක වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තිබෙන ලිපිගොනු කීපයක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ඇත.
අඳාළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ ලිපිගොනු මුද්‍රා තැබූ කවරයක බහා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත නියම කර තිබෙනවා.
ඒ අනුව නඩු විභාගය ජූලි මස 01 වනදා තෙක් කල් තබා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මෙසේ ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙනවා.
