මහා වැස්සෙන් හලාවත රෝහල යටවෙයි - වාට්ටු 3ක රෝගීන් හදිසියේම වෙනත් තැන්වලට
By Aylin Zoya
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ආරක්ෂිත ලෙස වෙනත් වාට්ටු කරා යොමු කිරීමට පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනේෂ් කොග්ගල මහතා සඳහන් කළේය.
මේ අතර ඊයේ රාත්‍රියේ සිට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, ඇතැම් ස්ථානවලට ගස් කඩා වැටීම්ද වාර්තා වේ.
පුත්තලම - මාදම්පේ - ගලහිටියාව මාර්ගය හරහා ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද සඳහන් වේ.
මේ හේතුවෙන් අදාළ මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාදම්පේ පොලීසිය දැනුම් දී තිබේ.