හිටපු ජනපති චන්ද්‍රිකාත් සූදානම්.. මෛත්‍රී දැනටමත් නිල නිවසින් ගිහින්
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සිය නිල නිවසින් ඉවත් වීමට සූදානම් වන බව වාර්තා වේ.
මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වන විටත් සිය නිල නිවසින් පිටව ගොස් තිබේ.
“ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ” පනතේ විධිවිධාන අනුව, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස රජයට යළි භාරදීමට සිදුව ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දහවල් සිය නිල නිවසින් ඉවත් වූ අතර, මෙය ඊයේ (10) සම්මත වූ “ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ” පනත හේතුවෙන් එම වරප්‍රසාද අහිමි වීමත් සමඟ ය.
මේ අතර, හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරු පෞද්ගලික නිවාසවල රැඳී සිටින අතර, හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය පසුගිය වසරේ සිටම නිල නිවසින් ඉවත්ව සිටී.
මෙම පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, කථානායකවරයා විසින් ඊට අත්සන් තබා ඇත. ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවන්ට ලබා දී ඇති නිල නිවාස, මාසික දීමනා, ලේකම් දීමනා, නිල ප්‍රවාහන, වෙනත් පහසුකම් මෙන්ම වැන්දඹුවන්ට ගෙවන මාසික විශ්‍රාම වැටුප්ද අහිමි වේ.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස රජයට යළි භාරදීමට සිදු වේ.