බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඇතුළු ප්‍රභූන් රැසක් අනූනමයෙන් බේරෙයි - රාජ්‍ය තාන්ත්‍රික දුම්රිය පිට වී මිනිත්තු කිහිපයකින් ඩ්‍රෝන ප්‍රහාරයක්
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් ඇතුළු යුරෝපීය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් රාජ්‍ය තාන්ත්‍රික දුම්රිය යුක්‍රේනයේ යාහොඩින් (Yahodyn) දුම්රිය ස්ථානයෙන් පිටව ගිය විගස, රුසියානු ඩ්‍රෝන යානයක් මඟින් එම ස්ථානයේ තිබූ වෙනත් මගී දුම්රියක එන්ජිමකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්‍රේනයේ කිව් අගනුවර පැවැති Yalta European Strategy (YES) ආරක්ෂක සමුළුවට සහභාගී වී යළි පෝලන්තය දෙසට ගමන් කරමින් සිටි මෙම ප්‍රභූ පිරිස අතර ස්වීඩනයේ හිටපු අග්‍රාමාත්‍ය කාල් බිල්ඩ් සහ අමෙරිකානු CIA සංවිධානයේ හිටපු ප්‍රධානී ඩේවිඩ් පෙට්‍රේයස් ද සිටි බව සඳහන්.
කෙසේ වෙතත් කාලසටහනේ සිදුකළ හදිසි වෙනස්කම් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැගත් දුම්රිය නියමිත වේලාවට පෙර පිටවීම හේතුවෙන් ප්‍රහාරයෙන් ඔවුන් බේරී තිබෙනවා.
එමෙන්ම ප්‍රහාරයට ලක්වූ දුම්රියේ සිටි මගීන් ද ප්‍රහාරයට මිනිත්තු 15කට පෙර ඉවත් කිරීමට යුක්‍රේන බලධාරීන් සමත්ව ඇත.
එබැවින් මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන්.
මේ අතර පෝලන්ත සීමාවේ සිට කිලෝමීටර 2ක් පමණ ආසන්නයෙන් සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොරිස් ජොන්සන් පවසා ඇත්තේ, මෙය රුසියාව විසින් සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකරන අහඹු සහ නිරර්ථක ප්‍රහාරයන්ගෙන් එකක් බවයි.
එමෙන්ම මෙම සිදුවීමත් සමඟ පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් හදිසි ආරක්ෂක රැස්වීමක් ද කැඳවා ඇති බව වාර්තා වේ.
මේ අතර හිටපු ස්වීඩන් අගමැති බිල්ඩ්ට්, පෝලන්තය සමඟ යාහෝඩින්-ඩොරොහුස්ක් දේශසීමා හරස් මාර්ගය අසල යාහෝඩින් දුම්රිය ස්ථානයේ සිදු වූ ප්‍රහාරයේ වීඩියෝවක් X හි බෙදා ගෙන තිබුණා.
ඒ, "මේ අපේ දුම්රිය නෙවෙයි, නමුත් පෝලන්ත දේශසීමා හරස් මාර්ගයෙන් අපට මිනිත්තු කිහිපයකට පසු පැමිණි දුම්රිය," "රුසියානු ඩ්‍රෝන යානය ළඟා වන විට එය ඉවත් කරන ලද අතර කිසිවෙකුට හානියක් සිදු නොවීය. ඉතා හොඳ ආරක්ෂක පද්ධතියක්. අපගේ දුම්රියට ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් ලැබුණා."