ශ්‍රී ලංකන් එයාර්ලයින් වෙබ් අඩවියට සල්ලි ගෙවනවනම් ඔන්න බලාගෙන
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ නාමය භාවිත කරමින් අන්තර්ජාලය තුළ ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, මහජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කළ දැවැන්ත ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම පැමිණිලි දෙකක් පදනම් කරගෙන ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ අංශය විසින් සිදු කරන ලද විමර්ශනවලදී, සැකකරුවන් විසින් පුද්ගලික බැංකු ගිණුම් ඉලක්ක කර ගනිමින් මුදල් සූක්ෂම ලෙස වංචා කර ඇති බව අනාවරණය වී ඇත.
එම පැමිණිලි අනුව, පමුණුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 55කට ආසන්න මුදලක්ද, කඩවත ප්‍රදේශයේ කාන්තාවකගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 3.5කට අධික මුදලක්ද මෙලෙස වංචා කර ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ අංශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, මෙම සංවිධානාත්මක වංචා ජාලය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අඛණ්ඩව අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කර ඇති බවද වාර්තා වේ.