බස් ලලිත් බරපතල චෝදනා රැසකට සම්බන්ධයි - ලිස්ට් එක මෙන්න..
අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හඳුන්වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කර තිබේ.
මෙය අන්තර්ජාතික නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමග එක්ව සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් වන අතර, ඔහුට එල්ලව ඇති බරපතල අපරාධ චෝදනා රැසක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත්ව තිබිණි.
මියගිය අපරාධකරුවන් වන සමයන් සහ ඌරු ජුවාගේ සමීපතමයෙකු ලෙස "බස් ලලිත්" හඳුන්වන අතර, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද ඩුබායිහි සිටි බව වාර්තා වේ. මීට පෙර ද ඔහු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන නිදහස්ව සිටි බව පොලිසිය සඳහන් කරයි.
ඔහුට එල්ලව ඇති ප්‍රධාන චෝදනා:
- මත්ද්‍රව්‍ය ජාවාරම් : මහා පරිමාණ හෙරොයින් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම.
ඝාතන සම්බන්ධ චෝදනා :
- 2022දී හංවැල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ඝාතනය (රවිඳු සංඛ ද සිල්වා හෙවත් "බූරුමූණා" ලවා).
- 2023 සැප්තැම්බර් 30දී හංවැල්ල නෙළුවත්තුඩුවේ ව්‍යාපාරිකයෙකු ඝාතනය.
- 2023දී මන්න රොෂාන් සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය.
- 2024දී හංවැල්ලේ වජිර නිශාන්ත සහ මන්න රොෂාන්ගේ සොහොයුරෙකු ඝාතනය.
- 2025 අගෝස්තු 12දී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව (බනා මන්ත්‍රී) වෙඩිතැබීමෙන් ඝාතනය.
- 2025 ජූලි 6දී කොටහැර පොඩ්ඩා සහ දෙමටගොඩ රුවන්ව කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනයට උත්සාහ කිරීම.
කප්පම් සහ වෙඩිතැබීම් :
- කප්පම් ගැනීමේ සිදුවීම් 15කට සම්බන්ධ වීම, වෙඩිතැබීම් රැසකට සම්බන්ධ වීම.
ඔහුගේ තර්ජන හේතුවෙන් හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශවල ව්‍යාපාරිකයන් රැසක් සිය නිවාස අතහැර ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගැනීමත් සමග හංවැල්ල ඇතුළු ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුටු වූ බව වාර්තා වේ. සැකකරුවා නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලිසිය පවසයි.