අනුරාධපුරේට සුබ ආරංචියක් - ජල ව්‍යාපෘතියක්
මේ වනවිට අනාරක්ෂිත භූගත ජලය මත යැපෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, කහටගස්දිගිලිය, රඹෑව සහ මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 164ක් ආවරණය වන පරිදි ජල සම්පාදන පද්ධතියක් ඉඳීකිරීමට අද (31) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කර තිබේ.
මේ මගින් ආරක්ෂිත පානීය ජලය සැපයීම සහ ජල සම්පාදන ආවරණය ඉහළ නැංවීම අරමුණු කර ගන තිබේ අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතිය – II අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා රජය විසින් අරමුදල් සපයනු ලබයි.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2022 වර්ෂයේදී ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගෙන තිබුණද, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් අරමුදල් නිදහස් කිරීම අත්හිටුවීම හේතුවෙන් කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නොහැකි වී තිබෙන බව වාර්තා වේ.
මේ වන විට අදාළ ණය මුදල නැවත සක්‍රීය කර තිබේ තවද මිල මට්ටම්වල වෙනස්කම්වලට ගැලපෙන පරිදි මිල ඉහළ නැංවීමේ වගන්ති අදාළ කර ගනිමින් තෝරා ගත් කොන්ත්‍රාත්කරු වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් එකගතාව පළ කර ඇත.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Ceylex Engineering (Pvt) Ltd. සහ Jayanthi Super Construction (Pvt) Ltd. ඒකාබද්ධ ව්‍යාපාරය වෙත ජපන් යෙන් මිලියන 763.75කට සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.44ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස නිවාස, ඉඳීකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.