අයවැයෙන් ඉන්ධන මිල ජන ජීවිතයට කරන බලපෑමට විසඳුම් කිහිපයක් ගන්නා බව ජනපති අනුර කියයි [VIDEO]
වර්තමානයේ දේශීය හා විදේශීය වශයෙන් පවතින ආර්ථික සහ යුදමය තත්ත්වයන් හේතුවෙන් මෙරට ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද විවිධ බලපෑම් එල්ල වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සැපයුම් මාර්ගවලට බාධා එල්ල වීම මෙරට ආර්ථිකයට බලපෑම් ඇති කර තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එම තත්ත්වය හමුවේ උද්ධමනයට ද යම් බලපෑමක් එල්ල වී ඇති බවත්, සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 8.8කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය. එමගින් මෙරට ජනතාවට භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ දුෂ්කරතාවට මුහුණ දීමට සිදුව ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය මෙරට සැපයුම් මාර්ගවලට බලපෑම් එල්ල කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, විශේෂයෙන් ගෑස් ආනයනය සම්බන්ධයෙන් එම තත්ත්වය බලපෑ හැකිව තිබූ බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, රාජ්ය ගෑස් සමාගමේ 2026 වසර සඳහා වූ ටෙන්ඩරය අඩුම මිල ඉදිරිපත් කළ සමාගමට ලබාදී ඇති අතර, එම සමාගම මැදපෙරදිග කලාපයට අයත් නොවීම හේතුවෙන් ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වූ බව ජනාධිපතිවරයා පැවසීය.
එහෙත් ගෑස් ප්රවාහන සැපයුම් මාර්ගවලට එල්ල වූ බාධා හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම මෙන්ම ප්රවාහන කාලය දීර්ඝ වීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙරට යටිතල පහසුකම් ඉදිකිරීම් සඳහා අවශ්ය තාර සැපයුමෙන් සැලකිය යුතු ප්රමාණයක් මැදපෙරදිග කලාපය මත රඳා පවතින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන තාර වර්ගය මැදපෙරදිග කලාපයෙන් ලබාගැනීම සුදුසු බව අධ්යයනවලින් තහවුරු වී ඇති බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, එම කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් තාර අඛණ්ඩව සපයා ගැනීමේ ගැටලුවක් මතුව ඇති බවත්, එය මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඛනිජ තෙල් සැපයුම සම්බන්ධයෙන් බව ද ඔහු සඳහන් කළේය. අඛණ්ඩව බලශක්තිය සැපයීම සහ සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම යන අභියෝග දෙකටම මුහුණ දීමට රජයට සිදුව ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
එහෙත් යුදමය තත්ත්වය හමුවේ වුවද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන පරිදි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට රජය කටයුතු කර ඇති බව ඔහු අවධාරණය කළේය.
මෙරට ඉන්ධන අවශ්යතාවයෙන් සියයට 30%ත් 35%ත් අතර ප්රමාණයක් බොරතෙල් ආනයනය කර මෙරටදී පිරිපහදු කිරීමෙන් සපයා ගන්නා බවත්, ඉතිරි සියයට 65%ත් 70%ත් අතර ප්රමාණය පිරිපහදු කළ ඉන්ධන ලෙස ආනයනය කරන බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
යුද්ධයට පෙර ඩීසල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 88ක් පමණ වූ අතර, පසුව එය ඩොලර් 167ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම පෙට්රල් බැරලයක මිල යුද්ධයට පෙර ඩොලර් 75ක් පමණ වූ අතර, එය ඩොලර් 110ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 69ක පමණ මට්ටමේ සිට ඩොලර් 110ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ සම්පූර්ණ බර ජනතාව මත පැටවුවහොත් මෙරට ආර්ථික වර්ධනයට බාධා එල්ල වී ආර්ථිකය හැකිළීමට පටන් ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් පසුව වුවද මෙම වසරේ පළමු කාර්තුවේදී සියයට 5 ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට ශ්රී ලංකාව සමත් වූ බව ජනාධිපතිවරයා පැවසීය.
එවැනි වර්ධනයක් පවත්වාගෙන යාම සඳහා ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීමට රජය තීරණය කළ බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව, අප්රේල් මාසයේ සිට ක්රියාත්මක වූ මුල් මාස පහක කාලය තුළ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක සහ පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.
ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 60,000ක පමණ මුදලක් වැය කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය. යුදමය තත්ත්වය යම් කාලයකදී අඩු වුවද පසුව යළිත් වර්ධනය වීම හේතුවෙන් ඉන්ධන මිල සම්බන්ධයෙන් පවතින පීඩනය අඛණ්ඩව පැවති බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව ඔක්තෝබර් මාසයේදී ද ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටේ අත්පත් කරගෙන ඇති ආර්ථික වර්ධනය අඩාල නොවී පවත්වාගෙන යාම රජයේ අරමුණ බවත්, ඒ සමඟම භාණ්ඩාගාරයෙන් මුදල් වැය කිරීමේ සීමාවන් ද සැලකිල්ලට ගනිමින් ආර්ථිකයට ඇතිවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජන ජීවිතයට යම් බලපෑමක් එල්ල වී ඇති බව රජය පිළිගන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා, එම බලපෑම අවම කිරීම සඳහා අනෙකුත් ක්ෂේත්ර ඔස්සේ ගත හැකි තීරණ කිහිපයක් මෙවර අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ප්රකාශ කළේය.