රාජ්ය සේවයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවිඩයක් - සෞඛ්ය සේවයට බඳවා ගන්නා හැටි ඇමති නලින්ද හෙළි කරයි
2027 සිට 2029 දක්වා වසර තුනක කාලය තුළ හෙද සේවයට නිලධාරීන් 13,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ පවතින හෙද විදුහල්වල තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ 2020 ශිෂ්ය හෙද කණ්ඩායමේ අභ්යාසලාභීන් 2,819 දෙනෙකුට තුන්වන ශ්රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් එම පත්වීම් ලිපි ප්රදානය අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි. දිවයින පුරා රෝහල් පද්ධතියේ පවතින කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගනිමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාදීම සඳහා පුරප්පාඩු පිරවීමේ කටයුතු කඩිනම් කර ඇති බව ද අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
2017 වසරෙන් පසුව හෙද සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා අමාත්යාංශය මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
2019 සහ 2020 වර්ෂවලදී අ.පො.ස. උසස් පෙළ විද්යා හා ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිට, 2023 වසරේදී දිවයින පුරා පිහිටි හෙද විදුහල් 16කට ඇතුළත්ව වසර තුනක උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ හෙද නිලධාරීන් 2,819 දෙනෙකු මෙලෙස පත්වීම් ලබා තිබේ.
පත්වීම් ලැබූ නිලධාරීන් දිවයින පුරා පිහිටි මධ්යම රජයේ සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය.
මේ අතර, මෙම පත්වීම් ලිපි ප්රදානයට සමගාමීව රෝහල් සේවයේ නිරත පළමු ශ්රේණියේ හෙද නිලධාරීන් 76 දෙනෙකු විශේෂ ශ්රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) ලෙස උසස් කිරීමට අදාළ ලිපි ද ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ප්රදානය කෙරිණි.