ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්රශ්ණය විසඳන්න අමාත්යවරයාගෙන් යෝජනාවක්
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය ආර්. එම්. ජයවර්ධන පවසන්නේ ලාෆ්ස් ගෑස් සමාගම විසින් මෙරට ගෑස් සැපයුම අඛණ්ඩව සිදුනොකරන්නේ නම්, පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සඳහා ලාෆ්ස් සිලින්ඩර් සඳහා ලිට්රෝ ගෑස් ලබාදීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා පවත්වන බවයි.
අමාත්ය වසන්ත සමරසිංහගේ ප්රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සති අන්ත ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කර ඇත.
නියෝජ්ය අමාත්යවරයා මෙහිදී සඳහන් කර තිබෙන්නේ පසුගියදා මාලදිවයිනේ සිට ගෑස් රැගෙන ආ නැව දින 3ක් ප්රමාද වීමෙන් ලිට්රෝ සිලින්ඩර් 240,000ක පමණ හිඟයක් මතු වුවද, මෙට්රික් ටොන් 3,600ක් සහිත එම නැව පැමිණීමෙන් පසු දෛනිකව ගෑස් සිලින්ඩර් 100,000 බැගින් නිකුත් කරමින් එම තත්ත්වය සමනය කළ බවයි.
මේ අතර, පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන සඳහන් කර ඇත්තේ ලාෆ්ස් හිඟය හමුවේ තමන් දෛනිකව නිකුත් කරන ගෑස් ප්රමාණය මෙට්රික් ටොන් 1,100 සිට 1,600 දක්වා ඉහළ නංවා ඇති බවයි.
කෙසේ වෙතත්, එයින් අදහස් වන්නේ ලාෆ්ස් කහ සිලින්ඩර් සඳහා ලිට්රෝ ගෑස් ලබාදීම නොව, ලාෆ්ස් සමාගමෙන් ගෑස් ලබාගත් හෝටල් සහ කර්මාන්තශාලා සඳහා බවුසර් මඟින් ලිට්රෝ ගෑස් සැපයීම බවද සභාපතිවරයා පැහැදිලි කර ඇත.