අකුරේගොඩ කළඹපු ඝාතකයන් CCTV දර්ශනවල - පැනලා ගිහින් තියෙන්නේ මඟදි තව අනතුරකුත් කරලා[VIDEO]
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී ඊයේ (13) දින පස්වරුවේ යුවළකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් පලා යන අයුරු කොට්ටාව ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයක සවිකර ඇති CCTV කැමරාවල පටිගත වී ඇති බව වාර්තා වේ.
අඳාළ කැමරාවන්හි එක් මංසන්ධියක යතුරුපැදියක්ද අනතුරට ලක් කර වෙඩික්කරුවන් පලායන අයුරු පටිගත වී ඇත.
එමෙන්ම අපරාධකරුවන් පැමිණි බවට සැක කෙරෙනුයේ EP KI-7738 දරන මෝටර් රථයෙන් වන අතර, දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව, අපරාධකරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා පලාගොස් ඇති බව හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරයි.
ඊයේ (13) දින සවස තලංගම පොලිස් වසමේ, අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසලක රථගාලේ නවතා තිබූ මෝටර් රථයක සිටි යුවළකට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබුණා.
ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් මේ වනවිටත් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.
එසේම එම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීම වෙනුවෙන් පොලීසිය මහජන සහයද අපේක්ෂා කරන අතර, ඊයේ සවස් කාලයේ ඉහත සඳහන් කළ මාර්ගවල ගමන් ගත් වාහනවල සවිකර ඇති ඩෑෂ් කැමරාවල (Dash Camera) අදාළ සැක කටයුතු වාහනය ගමන් කරන ආකාරය සටහන් වී තිබිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
එබැවින් එදින සවස් කාලයේ අදාළ ප්‍රදේශවල ගමන් කළ වාහන හිමිකරුවන් සහ රියදුරන් තම වාහනවල කැමරා පරීක්ෂා කර බලා, අදාළ වාහනයේ දර්ශන පටිගත වී ඇත්නම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසත්, තොරතුරු සපයන්නන්ගේ රහසිගතභාවය පූර්ණ ලෙස සුරකින බවත් පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත.