සිර දඬුවම් විඳින හිටපු ඇමති පියංකර ජයරත්නට තවත් නඩුවක්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති තවත් දූෂණ නඩුවක් අද (11) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
2013 වසරේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අනීතික ලෙස වෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, විත්තිකාර හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයට කරුණු දක්වමින්, මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නඩුවට අදාළ විමර්ශන කටයුතුවලට සම්බන්ධ වූ නිලධාරියකු එක් කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා, නඩු විභාගය අවසන් අදියරට පැමිණ ඇති අවස්ථාවක අලුතින් සාක්ෂිකරුවන් එක් කර ගැනීමට අවසර ඉල්ලා සිටීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා, අදාළ විමර්ශන නිලධාරියා මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස එක් කර ගැනීමට අවසර ලබා දුන්නේය.
ඒ අනුව අදාළ සාක්ෂිකරු මාර්ගයෙන් අධිකරණයට ලේඛන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එම ලේඛන අද දින සිට සතියක් ඇතුළත විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.
2013 වසරේ මැයි මස 10 වැනිදා සහ ජුනි මස 6 වැනිදා අතර කාලය තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් අනීතික ලෙස වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදු කිරීමෙන් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.