කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කෙරෙයි
ශ්‍රී ලංකා රේගුව විසින් එළඹෙන ඔක්තෝබර් මස 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 'කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය' පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ තාක්ෂණික සූදානම පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ ඒකකය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය එක්ව සිදුකරන මෙම වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්වූ අතර, මෙම නවීකරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ද ඔවුන් එකඟතාව පළ කළේය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ඩිනාර් ප්‍රිහාර්ඩිනි (Dinar Prihardini) මහත්මිය සහ ක්ලැකොව් අකේපන්නිඩ්ටාවෝන් (Klakow Akepannidtaworn) මහතා ද සහභාගී වී සිටියහ