බලන්නකෝ පොලිස් ලොක්කෝන්ගේ වැඩ කිඩ ගැන කියල ලියුමක්ම යවලා ..දැන් නම් ලේසි වෙන්නේ නෑ..
පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති කඩ කිරීම වැඩි වශයෙන්ම සිදුව ඇත්තේ තමා පදිංචි ප්රදේශවලම උසස් තනතුරු දරන පොලිස් ප්‍රධානීන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාප හේතුවෙන් බව සඳහන් කරමින් පොලිස් මූලස්ථානය ජාතික පොලිස් කොමිෂන් සභාවට හා මැතිවරණ කොමිෂන් සභාවට ලිපි යොමුකර තිබේ.
දේශපාලන සහායෙන් තනතුරුවලට පත්ව ඇති මෙම නිලධාරීන් දේශපාලන බලයට බියෙන් මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධි රැසක් යට ගසා ඇතැයි එම ලිපි මගින් අවධාරණය කර තිබෙන බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය පිළිබඳ සැලකිල්ලට ගෙන පදිංචි ප්රදේශවලම රාජකාරි කරන නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන්ද මාරුකර යවන ලෙස මැතිවරණ දිසාව භාර පොලිස් කොට්ඨාසයද ඉල්ලීම්කර ඇත.
පසුගිය ජනාධිපතිවරණය සාමකාමී අන්දමින් පැවැතියද දේශපාලකයන් විසින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් වැඩි වශයෙන් සිදුව ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බවත් හිටපු ඇමැති චාමර සම්පත් දසනායක හා ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ බදුල්ල හා මහියංගණය පොලිසිවලට කඩා වැදී සිදුකළ කලබලයන් ඊට නිදසුන් බවත් මැතිවරණ කටයුතු භාර පොලිස් ප්‍රධානීහු අවධාරණය කරති.
කෙසේ වෙතත් අදාළ නිලධාරීන් මාරුකර යැවීම මැතිවරණ කාලයේදී සිදු නොකළ යුත්තක් බැවින් ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානය ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
මේ අතර ජනාධිපතිවරණයේදී දේශපාලකයන් විසින් කළ මැතිවරණ නීති කඩකිරීම් බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් විසින් යට ගැසීමට උපදෙස් දී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.