නයිට් ක්ලබ් බස් ටික වහාම අහෝසි කරන්න - ගැමුණුගෙන් ආණ්ඩුවට යෝජනාවක්
ඇල්ලේ අනතුරට ලක්වූ බස් රථය මගී ප්රවාහනය සඳහා බලපත්ර සහිත පෞද්ගලික බස් රථයක් නොව, වර්තමානයේ "නයිට් ක්ලබ් බස්" ලෙස හඳුන්වන, විනෝද ගමන් සඳහා භාවිතා වන බස් රථයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මෙම බස් රථ ඇතුළතින් හා පිටතින් අධික විදුලි රටා සහිතව, ඩී.ජේ. සංගීතය ඇතුළත් කරමින් විනෝදාස්වාදය සඳහා නිර්මාණය කර ඇති අතර, ඒවා කිසිදු ආකාරයකින් රජයේ නියාමනයකට ලක්ව නොමැති බව ඔහු අවධාරණය කරයි.
"මීට පෙරත් මේ ආකාරයේ බස් රථයක් පාසල් දරුවන් රැගෙන යමින් පසුගිය රජය යටතේ අනතුරකට ලක්වුණා. එම බස් රථයත් පෙරළුණා. වාසනාවකට එහි ගමන් කළ ළමයි බේරුණා. ඒ වෙලාවේ අපි මේ නයිට් ක්ලබ් බස්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා.
මෙම බස් රථවලට අවසර ලබාදුන්නේ රිමාන්ඩ් කරපු හිටපු මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේ බස් රථවලට රජයේ කිසිදු නියාමනයක් ක්රියාත්මක වන්නේ නැහැ."
නයිට් ක්ලබ් බස්වල ඇති විනෝදාත්මක ලක්ෂණ මරුවා කැඳවන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
