කථානායක විසින් හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි - හේතුව මෙන්න..

Report

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ඊට අමතරව ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ද අද දිනයේ පක්ෂ නායක රැස්වීමේ දී අවධානය යොමුකිරීමට නියමිතය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජනාධිපති මන්දිරයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රටේ වත්මන් ආර්ථික අර්බුදය සහ ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදි සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට මෙම රැස්වීම සඳහා සහභාගී වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර රට මුහුණ දී ඇති අර්බුදයට පිළියමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට සියලු පක්ෂ නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර තිබේ.

හෙට (29) පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පක්ෂ රැසක්ම මේ වන විටත් සිය කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join