ළමා නිවාසයක දැරියක් අතුරුදන් වෙලා..
කටුපොත - එරෝමා ළමා නිවාසයේ සිටි අවුරුදු 16ක දැරියක් අතුරුදන් වී ඇති බව එහි පාලිකාව විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ ළමා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වීම සඳහා ගොස් සිටි වයස අවුරුදු 16ක දැරියක් ය.
ඇය හලාවත - කටුපොත එරෝමා ළමා නිවාසයේ රඳවා සිටි දැරියක් වන අතර ඇය මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයේ රඳවා තිබූ බව සඳහන් වේ.
ඊයේ (02) කුලියාපිටිය ශිල්ප ශාලිකා ක්‍රීඩාංගනයේ දී වයඹ පළාතේ පවත්වාගෙන යන ළමා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා උත්සවයක් පවත්වා තිබෙනවා.
එම ක්‍රීඩා උත්සවයට සහභාගි වීම සඳහා කටුපත - එරෝමා ළමා නිවාසයේ දරු දැරියන් ද ගොස් ඇත.
එහිදී ක්‍රීඩා උත්සවය අවසන් වී බලන විට මෙම දැරිය අතුරුදන් වී ඇති බව දැනගෙන ඒ බව පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැරිය සොයා ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කුලියාපිටිය පොලීසිය සඳහන් කළේ ය.
