ජල පවිත්‍රාගාරයක ක්ලෝරින් නළ පද්ධතියේ විෂ වායුවක් වැදී පුද්ගලයන් 30 රෝහල්ගත කරයි
ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආග්‍රහණය වීම හේතුවෙන් රෝගී වූ තිස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
ඒ අනුව අනාවරණය වී ඇත්තේ එම පවිත්‍රාගාරයේ ක්ලෝරින් නළ පද්ධතියෙන් මෙම වායුව කාන්දු වී පරිසරයට නිකුත්ව ඇති බවයි.
එම අවස්ථාවේ එම වත්තේ සේවය කරමින් සිටි කම්කරුවන් 29 දෙනකු හට මෙම විෂ වායුව වැදී ඇති අතර ඉන් කිහිප දෙනෙකුම එහි බිම වැටී සිටියදී රෝහල් ගත කළ බව එහි සේවකයෝ ප්‍රකාශ කරයි.
එමෙන්ම ජල පවිත්‍රාගාරයේ අසල ඇති තේ වත්තේ තේ පඳුරු දහසක් පමණ ද මෙම වායුව වැදීම සමග මැලවී ගොස් තිබෙන අතර ටැංකිය අසල වැඩ කරමින් සිටි වතු සේවක පිරිසකට මෙම වායුව දැඩිව ආග්‍රහණය වීමෙන් රෝගී වී ඇති බව වාර්තා වේ.
මෙම පිරිස අතර වතු පරීක්ෂකවරයෙක් ද සිටින අතර ජල සම්පාදන මණ්ඩලයේ සේවයකුද වන බව සඳහන්.
කෙසේ වෙතත් මේ සිදුවීම සමග ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කළ අතර වතු නිලධාරීන්ද මේ සේවක පිරිසට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇත.
එසේම මෙම ජල සම්පාදන ක්‍රමයෙන් පුස්සල්ලාව හා පාරදෙක නගරවලට මෙන්ම අවට ප්‍රදේශවලටද ජලය සැපයීම සිදු කෙරෙයි.
තවද කළ විමසීමකදී ජල සම්පාදන මණ්ඩලයේ ගම්පොළ වැඩ බලන නිලධාරී ඒ. ඒම්. ප්‍රේමතුංග මෙම ජල පිරිපහදුවේ ක්ලෝරින් නලයක කාන්දුවක් හදිසියේ ඇතිව තිබීම නිසා එය පරිසරයට විවෘත වුවත් එහි සේවකයෙක් ගෑස් ආවරණ මුහුණට දමා ගත් විගසින් එම කාන්දුව වසා දැමීමට පියවර ගෙන ඇති බව කියා සිටියා.
ඒ අනුව ජල ටැංකිය අසල දළු කිරමින් සිටි සේවකයන් පිරිසකට මෙම වායුව ආග්‍රහණය වීම හේතුවෙන් මෙසේ රෝගී වී ඇති බවද ඔහු කියයි.
එසේම ඔහු අවධාරණය කළේ ක්ලෝරින් අඩංගු ගෑස් ටැංකිය තුළ සුළු ගෑස් ප්‍රමාණයක් තිබීම නිසා හානිය අවම වී ඇති බවත් ඉදිරියේදී මෙහි ආරක්ෂාව තවත් තර කරන බවත් ය.